‘මව්බිම’ හා ‘සිලෝන් ටුඩේ’ සේවක ගැටලු ගැන මාධ්‍ය සංවිධාන 7 කින් කම්කරු කොමසාරිස් ජනරාල්ට පෙත්සමක්

‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ (Ceylon Today) පුවත්පත් ප්‍රකාශයට පත් කරන සිලෝන් නිව්ස්පේපර්ස් පෞද්ගලික සමාගමේ (Ceylon Newspapers (Private) Limited) මාධ්‍යවේදීන් සහ සේවකයින්ගේ කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හා අත්තනෝමතික සේවයෙන් පහ කිරීම් සම්බන්ධයෙන් කඩිනම් නිල මැදිහත්වීමක් ඉල්ලා මෙරට ප්රමුඛ මාධ්‍ය සංවිධාන සහ වෘත්තීය සමිති හතක එකමුතුවක් විසින් කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය වෙත පෙත්සමක් භාර දී තිබේ.
නොවැම්බර් 16 වැනිදා දිනැතිව ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ ලිපියක් මගින් මෙම මාධ්‍ය එකමුතුව පෙන්වා දී ඇත්තේ, අදාළ පුවත්පත් දෙකෙහි සේවකයින් නීතිවිරෝධී වෘත්තීය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවයි.
වෘත්තීය සමිති එල්ල කරන චෝදනා
වෘත්තීය සමිති පවසන පරිදි, සමාගම් පාලනාධිකාරිය මාස කිහිපයක් පුරා සේවක වැටුප් සහ සේවක අර්ථසාධක අරමුදල් (EPF) දායක මුදල් රඳවාගෙන ඇති අතර, පාරිතෝෂික ගෙවීම් ප්‍රතික්ෂේප කරමින් සාධාරණ හේතුවකින් තොරව නීතිවිරෝධී ලෙස සේවය අවසන් කර ඇත.
එමෙන්ම, කම්කරු දෙපාර්තමේන්තුවට හෝ අදාළ රාජ්‍ය බලධාරීන්ට පූර්ව දැනුම්දීමකින් තොරව ඉතිරි කාර්ය මණ්ඩලයට සමාගම් පරිශ්‍රයට ඇතුළු වීම පාලනාධිකාරිය විසින් බලහත්කාරයෙන් වළක්වා ඇති බවට ද එම එකමුතුව චෝදනා කරයි. මෙම තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සේවකයින් සහ ඔවුන්ගේ පවුල් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව ඔවුහු සඳහන් කරති.
සමාගමේ ක්‍රියාමාර්ග ජාතික කම්කරු නීති සෘජුවම උල්ලංඝනය කරන බවත් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගෞරවයට හානි පමුණුවන බවත් අවධාරණය කරන මාධ්‍ය එකමුතුව, අපක්ෂපාතීව මැදිහත් වී කඩිනම් යුක්තිය ඉටු කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරියගෙන් ඉල්ලා සිටී. මාධ්‍ය ක්ෂේත්රයේ සේවක සුබසාධනය මුහුණ දෙන පුළුල් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නිල හමුවක් ලබාදෙන ලෙස ද වෘත්තීය සමිති ඉල්ලා ඇත.
පෙත්සමට අත්සන් තැබූ මාධ්‍ය සංවිධාන නායකයින්
මෙම ඒකාබද්ධ පෙත්සම සඳහා පහත සඳහන් නියෝජිතයින් අත්සන් තබා තිබේ:
චන්ද්‍රසේකර දොඩාවත්ත – නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ (FMM) කැඳවුම්කරු සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාර වෘත්තීය සමිතියේ (FMMTU) ලේකම්
රංග බණ්ඩාරනායක – ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLWJA) සභාපති
තරිඳු උඩුවරගෙදර – මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ (FMETU) ප්‍රධාන ලේකම්
තරිඳු ජයවර්ධන – ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLYJA) සභාපති
එම්.බී.එම්. ෆයිරූස් – ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ (SLMMF) සභාපති
ශ්‍රී ගජන් – ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සන්ධානයේ (SLTMA) සභාපති
හනා ඉබ්රාහිම් – දකුණු ආසියානු මාධ්‍ය කාන්තා සංවිධානයේ (SAWM) භාරකාරිනී




