EPF සහ ETF පෙත්සම් ගැන අධිකරණයෙන් නියමයක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සාමාජිකයින්ට අගතියක් සිදුවන බවට චෝදනා කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ඔක්තෝම්බර් මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අදාළ පෙත්සම් එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස මූලික විරෝධතා මතු කරන බව සඳහන් කළේය.

මෙම කරුණට අදාළව ගොනුකළ පෙත්සම් කිහිපයක් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙන බවත් මෙම පෙත්සම් විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සිය මූලික විරෝධතාවලින් සඳහන් කරයි.

කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක සංගමයේ කැඳවුම්කරු ඇන්ටන් මාකස් ඇතුළු පාර්ශ්ව 04ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *