30ට අඩු අයට එන්නත් දෙන දිනය පිළිබඳව ඉඟියක්

වයස අවුරුදු 18ත් 30ත් අතර පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සැප්තැම්බර් මස මුල් සතියේ ආරම්භ කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

සැප්තැම්බර් මාසයේදී සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 10ක් සහ දෙසැම්බර් මාසයේ දී ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 18ක් ගෙන්වා ගැනීමට මේ වන විටත් කටයුතු යොදා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.

“මේවන විට ලෝකයේ සොයාගෙන තිබෙන සාර්ථකම ප්‍රතිකාරය තමයි සාර්ථකම විසඳුම තමයි එන්නත්කරණය. ඒ සමඟම දැනගන්න ඕනේ වැදගත් කාරනයක් තමයි, මේක හොඳින් මතක තියාගන්න එන්නත දීපු පමණින් ඔබට ප්‍රතිශක්තිය ලැබෙන්නේ නැහැ. දෙවෙනි මාත්‍රාවත් අරගෙන ඇගේ ප්‍රතිශක්ති හැදෙන්නේ තවත් සති දෙකක් පමණ ගියාට පස්සසේ. මේ රටේ දැනට එන්නත් වර්ග ගණනාවක් තිබෙනවා. විවිධ පළාත්වල විවිධ එන්නත් වර්ග තියෙනවා නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විද්වතුන්ගේ පර්යේෂණාත්මක දත්තයන් අනුව මේ රෝගයෙන් බේරෙන්න පූර්ණ  ප්‍රතිශක්තියක් ගැනීම සඳහා කරුණාකරලා ඔබ හැකි ඉක්මනින්, විශේෂයෙන්ම ඔබ වයස්ගත නම්, ඔබට රෝගාබාද තිබෙනවානම් මේ එන්නත ලබාගත යුතුමයි.”

දැනට පවතින වෛරස් ප්‍රභේදයේ ප්‍රබලතාව හේතුවෙන් වාතය මඟින් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වෛරසය පැතිරයාමේ ඉඩකඩ ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.

වත්මන් තත්ත්වය හමුවේ මෙම සතිය තුළ දිවයිනේ සෑම රෝහලක්ම කොවිඩ් රෝහලක් බවට පත්කරනු ඇති බව ද වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 2,000 සීමාව පසු කිරීම ආරම්භ වුණේ පසුගිය ජූලි 29 වනදා සිටය.

එතැන් පටන් ගෙවුණු දින 11ක කාලය තුළ පමණක් ආසාදිතයින් 28,192 දෙදෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

විශේෂයෙන්ම අවසන් දින 5 තුළ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 2,500 සීමාවත් පසුකර තිබීම මෙරට සෞඛ්‍ය පද්ධතියට විශාල අභියෝගයක් වී ඇති බව පැහැදිලිය.

මේ වනවිට මෙරට ජනගහනයෙන් සෑම මිලියනයකටම වාර්තා වූ ආසාදිතයින් ගණන 15,340 දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්තා වන ආසාදිතයින්ගේ ජෛව සාම්පලවල අඩංගු වෛරස අංශු ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා අතර රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයින් ප්‍රමාණයත් සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මඩකලපුව මාමාම්ගා ඊෂ්වරන් කෝවිලේ ඊයේ (08) පැවැති ආගමික උත්සවයකට සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා විශාල පිරිසක් සහභාගි වී සිටි අතර ඒ හේතුවෙන් කෝවිල තාවකාලිකව වසා දමා එහි භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් සියලුදෙනාම දින 14ක කාලයක් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර මඩකලපුව කල්ලඩි රාමක්‍රිෂ්ණන් මීසමේ පාසල් සිසුන් 45 දෙනෙකු ඇතුළු 47 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනීම හේතුවෙන් එම මීසම තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණි.

මේ අතර ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගමන් කිරීමේදී පැය 4කට පෙර පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා ලබාගැනීම අවශ්‍ය වන අතර ඒ සඳහා පහසුකම් සලසා දෙන්නැයි විදේශ බළකාය සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.

කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සඳහාම රජය වෙන් කළ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ සුසාන භූමියේ අද වන විට මෘතදේහ 1,437ක් භූමදානය කර තිබේ.

අද පස්වරුව වනවිටත් එහි භූමදාන කටයුතු සඳහා බිම් සකස් කිරීම සිදුකෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *