මෘතදේහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අනුමැතියකින් තොරව නිදහස් කිරීමේ බලය, හදිසි මරණ පරීක්ෂකවරයාට සහ ග්‍රාම නිලධාරිවරයාට හිමිකර දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද අනාවරණ කළේය.
එම සංගමය පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිපියක් මගින් ඒ බව දන්වා ඇති බවය.
මේ හේතුවෙන් කොවිඩ් ආසාදිතයෙක් නිවසේ මියගිය විට ගැටලු මතුවිය හැකිබව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද වනවිට 3,000 සීමාවට ආසන්න වී ඇති අතර ඉන් සියයට 75 ක්ම වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් වේ.
මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින් සඳහා එහි දෙවන මාත්‍රාව ලබාදීම අද කිරුළපන සිතුමිණ ශාලාවේදී හා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී සිදුකළේය.
ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාදීම සිදුවුණේ පසුගිය ජනවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා අතර කාලයේදීය.
මේ අතර පිළියන්දල සිද්ධමුල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අද සිදුකළ අතර එහිදී එම වැඩිහිටියන් රැඳී සිටි සමස්ත පෝලිම ආවරණය වන පරිදි ආසන පනවා තිබීම විශේෂත්වයකි.
හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහා එන්නත ලබාදීම සිදුවුණද අදාළ එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නේ ලැයිස්තුගත කළ පුද්ගලයින්ගෙන් සියයට 50ත් 60ත් අතර පිරිසක් බව ප්‍රදේශයභාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
දැනට මෙරට භාවිතයට ගන්නා කොවිෂීල්ඩ්, සයිනොෆාම් සහ ස්පුට්නික් V යන එන්නත්වල එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් ගණන 2,605,558කි.
ඉන් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව 900,519 ක් ලෙස සඳහන් වේ.
මේ අතර, කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ජයලියගම පාර ප්‍රදේශයේ වයස අවුරුදු 47 ක් වන පුද්ගලයෙකුට ඩෙල්ටා හෙවත් ඉන්දියානු කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වැඩබිමක සේවය කරන පුද්ගලයෙකු වන ඔහුව පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.
ඔහුගේ මව,බිරිඳ සහ පුත්‍රයා ද ඇතුළු ප්‍රදේශයේ පවුල් 50ක පමණ සාමාජිකයින් නිරෝධායනයට යොමු කර ඇති අතර ජයලියගම පාර ප්‍රදේශයේ ආසාදිත පුද්ගලයා පදිංචිව සිටි අතුරු මාර්ගයට සංචරණ සීමා පැනවීමටද පියවර ගැනුණි.
ජයලියගම ප්‍රදේශයේ පුද්ගලයින් 100 දෙනෙකු සඳහා අහඹු පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීම අද සිදුවූ අතර එම සාම්පල ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත යොමු කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර රේඛිය අමාත්‍යාංශයේ ගිලන් රථ රියදුරන්ට හිමිවන අතිකාල දීමනා සහ වෙනත් වරප්‍රසාද පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල යටතේ සේවය කරන ගිලන් රථ රියදුරන්ට ලබා නොදීමට එරෙහිව බස්නාහිර පළාත් රජයේ සෞඛ්‍ය සේවා ගිලන් රථ හා ප්‍රවාහන රියදුරු සංගමය එළඹෙන ජුලි 02 වැනිදා සිය රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.