“ජීවිතය අවදානමේ” – ඉම්රාන් ඛාන්ගෙන් පාකිස්තාන ඉහළ විනිසුරුවරුන්ට විවෘත ලිපියක්

බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය පිරිහෙන සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජීවිතය අවදානමට ලක්විය හැකි බවට අනතුරු අඟවමින්, කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සහ පෙර අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එරට ඉහළම විනිසුරුවරුන් වෙත ආයාචනා කර ඇති අතර, පාකිස්තාන රජය වෛද්‍ය නොසැලකිලිමත්කම පිළිබඳ එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
සිය නීතිඥ බැරිස්ටර් සල්මාන් සෆ්දාර් මහතා හරහා නොවැම්බර් 16 වැනිදා දිනැතිව ඉදිරිපත් කළ විවෘත ලිපියක 74 හැවිරිදි හිටපු නායකයා කියා සිටියේ, තම රුධිර පීඩනය අනතුරුදායක ලෙස ඉහළ මට්ටමකට පැමිණීමෙන් පසු මොළයේ රුධිර වහනයක් (Brain haemorrhage) සහ හෘදයාබාධයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වෛද්‍යවරුන් තමන්ට අනතුරු ඇඟවූ බවයි.
සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ
තම රුධිර පීඩනය 130 සිට 150 සහ 170 දක්වා ඉහළ ගොස්, නොවැම්බර් 10 වැනිදා වන විට 192 සහ 193 වැනි අගයන් දක්වා ඉහළ ගිය බව ඛාන් මහතා පැවසීය. සිය හදවතට දැනටමත් හානි සිදුව ඇති බවට ද ඔහු සඳහන් කර තිබේ.
“හැත්තෑ හතර හැවිරිදි වියේදී, නොනවතින මෙම තත්ත්වය මාව නැවත පණපිටින් ආපසු නොපැමිණිය හැකි තැනකට ගෙන යමින් පවතිනවා,” යැයි ඛාන් මහතා ලියා ඇත.
පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයේ, ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ සහ ඉස්ලාමාබාද් මහාධිකරණයේ අගවිනිසුරුවරුන් වෙත යොමු කර ඇති මෙම ලිපිය, නොවැම්බර් 11 වැනිදා අඩියාලා (Adiala) බන්ධනාගාරයේදී ඛාන් මහතා සහ ඔහුගේ නීතිඥවරයා අතර පැවති පැය තුනක හමුවකින් අනතුරුව සකස් කරන ලද්දකි.
2025 දෙසැම්බර් 20 වැනිදා සිට තමන්ව දිනකට පැය 22 ක් දක්වා කාලයක් හුදකලා සිරමැදිරියක රඳවා ඇති බවත්, පවුලේ සාමාජිකයන්, නීතිඥයන්, පොත්පත් සහ රූපවාහිනිය වෙත ඇති ප්‍රවේශය දැඩි ලෙස සීමා කර ඇති බවත් ඛාන් මහතා චෝදනා කළේය.
තම දකුණු ඇසේ පෙනීමෙන් 85% ක් අහිමි වී ඇති බවත්, ඒ පිළිබඳව තම පවුලේ අයට හෝ නීති නියෝජිතයන්ට දැනුම් දී නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එමෙන්ම, සිය බිරිඳ වන බුෂ්රා බිබීගේ (Bushra Bibi) සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද බරපතළ කනස්සල්ල පළ කළ හිටපු අග්‍රාමාත්‍යවරයා, ඇයගේ දෘෂ්ටි විතානයේ සැත්කමකින් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් ස්ථිරවම පෙනීම අහිමි වීමේ අවදානමකට මුහුණ දී සිටින බව ද පැවසීය.
අධිකරණ නියෝග සහ බන්ධනාගාර චෝදනා
විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ සඳහා තමන්ව ශිෆා ජාත්‍යන්තර රෝහලට (Shifa International Hospital) මාරු කරන ලෙසත්, පවුලේ අය සමඟ නිරන්තර සම්බන්ධතා පැවැත්වීමට ඉඩ දෙන ලෙසත් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය අගෝස්තු 18 වැනිදා නියෝග කළ නමුත්, එම නියෝග ක්‍රියාත්මක කර නොමැති බව ඛාන් මහතා චෝදනා කළේය.
2026 වසර තුළ තමන්ට සිය නීතිඥවරයා හමුවීමට අවසර ලැබී ඇත්තේ සිව් වතාවක් පමණක් බවත්, සිය බිරිඳට ඇයගේ නීතිඥවරයා සමඟ එක් හමුවකට පමණක් අවසර ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය. බන්ධනාගාර බලධාරීන් සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවටත්, දැනට පවතින අපරාධ නඩුවලින් නිසි ලෙස ආරක්ෂා වීමට තමන්ට බාධා කරන බවටත් ඔහු චෝදනා කළේය.
තමන් විශේෂ සැලකිලි හෝ දේශපාලන සහන ඉල්ලා නොසිටින බවත්, නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පමණක් අපේක්ෂා කරන බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
“මට මගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට හැකි වන්නේ මම ජීවතුන් අතර සිටියහොත් පමණයි,” යැයි ඔහු ලියා තිබුණි.
2023 අගෝස්තු මාසයේ සිට බන්ධනාගාරගත කර සිටින ඛාන් මහතා නඩු තීන්දු සහ නීතිමය ක්‍රියාමාර්ග රැසකට මුහුණ දී සිටින අතර, ඔහු සහ ඔහුගේ පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය එම චෝදනා දේශපාලනිකව පෙළඹවූ ඒවා ලෙස හඳුන්වා දී තිබේ.
පාකිස්තාන රජයේ ප්‍රතිචාරය
මේ අතර, වෛද්‍ය ප්‍රතිකාර නොසලකා හැර ඇති බවට එල්ල වන චෝදනා පාකිස්තාන රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) පුවත් සේවයට අනුව, රජයේ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කර ඇත්තේ ඛාන් මහතා පාකිස්තාන වෛද්‍ය විද්‍යා ආයතනයේදී (Pakistan Institute of Medical Sciences) වෛද්‍ය පරීක්ෂණ අටකට භාජනය කර ඇති බවත්, එහිදී සතුටුදායක සෞඛ්‍ය තක්සේරු කිරීම් සහ රුධිර පීඩන අගයන් වාර්තා වී ඇති බවත්ය.






