පෙරටුගාමී පක්ෂයේ ජන අරගල ව්‍යාපාරය සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 20 වැනිදා කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි යන සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොටුව අධිකරණයේ තිබෙන වෙනත් නඩු සඳහා මොවුන් නිසියාකාරව පෙනී නොසිටින බවත් සිතාමතා නඩුවාර මග හරින බවත් පැවැසූ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම සැකකරුවන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.සැකකරුවන් නඩුවාර මග හැරීම නිසා එක් නඩුවක් නඩු වාර 56 ක් දක්වා පැමිණ ඇති බවද මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පැවැසුවේය.