සමුගත් නිළි රැජිණගෙන් හිස්වූ අසුන සිරිලක සිනමා ක්ෂේත්‍රයේ සදාකාලික හිස්තැනක් වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍යය උත්සවයට ශෝක පණිවිඩයක් එවමින් පැවසීය.
නිළි රැජිනී මාලිනිය සමු ගන්නා මෙහොතේ ඇයට දැයේ ප්‍රණාමය පුද කරන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ශෝක පණිවිඩය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කළාය.
දහස් සංඛ්‍යාත රසික ජනකායකගේ සෝ සුසුම් මැද කොළඹ නිදහස් චතුරස්‍රයේදී මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සිදු කෙරිණි.
මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන විශේෂ පීඨිකාව වෙත රැගෙන එනු ලැබූයේ ඇය ඉගෙනුම ලැබූ කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් පෙරටු කර ගත් රථයකිනි.
ජනාධිපතිවරයා ශෝක පණිවිඩයෙන් මෙසේද පවසයි.
ශ්‍රී ලාංකීය සිනමා වංශයේ අවිවාදිත “අභිධානයක්” වූ, “නිලි රැජිණ” නම් වදනින් සම්මානිත, ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මිය දැයෙන් සමුගන්නා මෙම සංවේගජනක අවස්ථාවේ මාගේද ආචාරය ඇයට පුදකිරීමට ඔබෙන් අවසර පතමි.
ඇතැම් අහිමි වීම් නැවත පුරවාලිය හැකි ආදේශ සහිත ඒවාය. ඇතැම් ඒවා දුෂ්කරය. එමෙන්ම, ඇතැම් ඒවා යළිත් කිසි දිනක සම්පූර්ණ කළ නොහැකි ඒවාය. සමුගත් නිළි රැජිණගෙන් හිස්වූ අසුන සිරිලක සිනමා ක්ෂේත්‍රයේ සදාකාලික හිස්තැනක් වනු ඇත.
සිනමා අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිර රචනය සහ අසමසම රංගනය යන යන කුසලතා ප්‍රවර්ග, සිනමාව, රූපවාහිණිය හා වේදිකාව යන ත්‍රිවිධ අඩවිවල දශක 06 ක් පුරා දීප්තිමත්ව ද, අඛණ්ඩව ද ආරක්ෂා කර ගැනීම හාස්කමක් බඳු විරල අත්දැකීමකි.
සිනමා රංගන පාසලක් අදටත් නැති ශ්‍රී ලංකාවේ මාලනී ෆොන්සේකා මැතිණිය දිවිය නිමා කරන්නේ සිනමා රංගන විශ්වවිද්‍යාලයක් ලෙසිනි. ඇය පළ කළ අසීමිත ප්‍රතිභාව සම කළ හැක්කේ ඇයටම පමණි. එතුමියට සමීප වන රූපණවේදිනියක බිහිකර ගැනුමට තවත් දශක කිහිපයක් රජයක් ලෙස අප, කැපවීමෙන් වැඩ කළ යුතුව ඇත.
දුෂ්කර වුවද මාලිනියට උපහාර දැක්විය හැකි මඟ එයම පමණි.
මාලනී ෆොන්සේක මහත්මිය මෙලොවට ජන්ම ලාභය ලැබුවේ සුවිශේෂ වර්ෂයකදීය. එනම් 1947 අප්‍රේල් 30 වෙනිදා ය. එය, එක් අතකින් ශ්‍රී ලංකාව දේශපාලන නිදහස ලබාගැනීමට ආසන්න කාලයකි. අනෙක් අතින් ලංකාවේ පළමු සිනමා නිර්මාණය වූ කඩවුනු පොරොන්දුව තිරගත වුයේත් 1947 ජනවාරි 21 වෙනි දිනයි.
ඇය ඉපදුනේ සාමාන්‍ය පවුලක දැරියක් විදිහට. එකොලොස් දෙනෙකුගෙන් යුක්ති පවුලේ තුන් වෙනියා ලෙසටය. ඇගේ උපන් ගම වූයේ කැලණියයි.
විද්‍යාලංකාර මණ්ඩපයේ හෙවත් වත්මන් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය සංගමය නිර්මාණය කරන ලද “නොරත රත” නාට්‍යය ඇගේ පළමු වේදිකා නාට්‍යය විය. එවකට ඇගේ වයස අවුරුදු 16 ක් පමණකි. 1965 අවුරුද්දේ “අකල් වැස්ස” නාට්‍යයේ රඟපෑමෙන් ඇය හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය.
මේ නාට්‍යයේ ඇගේ රංගනය දැක තිස්ස ලියනසූරිය මහතා සහ ජෝ අබේවික්‍රම මහතා විසින් ඉදිරියේ දී නිර්මාණය කරන සිය චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස ඇය තෝරා ගනු ලැබීය. මාලනීගේ පළමු සිනමා නිර්මාණය වන “පුංචි බබා”, 1968 වසරේ දී නිර්මාණය කළ තිස්ස ලියනසූරිය මහතා ද මේ ශෝකාකූල අවස්ථාවේ අප සමග සිටින බව විශේෂයෙන් සඳහන් කරමි.
“පුංචි බබා”ගෙන් ආරම්භව “ආකාස කුසුම්” චිත්‍රපටයෙන් අවසන් වුණු මාලනීගේ සිනමා රංගනයට චිත්‍රපට 150 ක් පමණ ඇතුළත්. මේ සඳහා ඇය ගත කළ කාලය, මෙරට සිනමා කර්මාන්තයේ ස්වභාවය මෙන්ම ලාංකීය සමාජයේ ගැහැණියක් කෙරෙහි බලපාන බොහෝ සාධක සමග බලද්දී ඇය ලබාගත් මේ තත්වය විශ්මයකි.
සිනමා ලෝකයේ ප්‍රකට තල 3 ක් ඇත. ජනප්‍රිය සිනමාව, සිනමා රූපී සිනමාව හා කලාත්මක සිනමාව යන ඒ ත්‍රිත්වයයි. මාලනී යනු මේ ත්‍රිත්වයම එක සේ ජයගත් රංගනවේදිනියයි. ඒ අතින් ඇය සිංහල සිනමාවේ “නිධානයක්” ලෙස හැඳින්වීම නිවැරදිය.