හරීන්ගේ ප්‍රකාශය බරපතලයි

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ යැයි ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක් බවත් මෙරට ගුවන්තොටුපළවල සහ වරායවල් ආදී සියල්ලම ඉන්දියාවට දෙන්නේ යැයි ඔහු එහිදී අදහස් කළ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එසේ පැවසීය.

ඉන්දියාව තුළ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකදී ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙකු ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ යැයි පැවසීම නිවට සහ නියාලු ක්‍රියාවත් බවත් එම බරපතළ ප්‍රකාශය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ‘රටේ ස්වෛරීත්වය රැක්කේ අපි’ කියා පවසන රාජපක්ෂවරු, විපක්ෂ නායකවරයා ඇතුළු බලයට ඉව අල්ලන විපක්ෂයේ අනෙකුත් කල්ලි කණ්ඩායම් කසාය බිව් ගොළුවන් සේ දත කට පූට්ටු කරගෙන සිටිනා බවත් සඳහන් කළේය.

”ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු වහල්භාවය කොතරම් බරපතළ ලෙස එළාගෙන යනවාද? එයට මේ ආණ්ඩුව සහ බලයට ඉව අල්ලන විපක්ෂ කල්ලි කණ්ඩායම් කොතරම් දුරට අවනත වී තිබෙනවාද?” යන්න එම ප්‍රකාශයෙන් පැහැදිළි වන බව ද කී ඔහු ශ්‍රී ලංකාව ඉන්දියාවට ඈඳලා දෙන්න  ”හොඳම වෙලාව” ඇවිත් යැයි ඔවුන් සිතන බව ද සඳහන් කළේය.

අමාත්‍යවරයෙකු යම් රටකට ගිහින් තමන්ගේ රට ඒ රටේ කොටසක් කියා කරන ප්‍රකාශය බරපතළ නැද්ද? එහෙම ප්‍රකාශයක් කරන්න සදාචාරාත්මක හා නෛතික බලයක් ඔහුට තිබෙනවාද? පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන විට රටේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය සුරකින බවට දිවුරුම් දෙන බවත් එය උල්ලංඝනය කරන්න කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හැකියාවක් නොමැති බවත් වීරවංශ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *