යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අටදෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ යුධ හමුදා සැරයන් සුනිල් රත්නායක නමැත්තාට ජනාධිපති සමාව දී නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද නොතීසි නිකුත් කළේය.
2000 වසරේ සිදුවු මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම අපරාධයට අදාළව සිරදඬුවම් විඳිමින් සිටි යුධ හමුදා සැරයන් සුනිල් රත්නායක නමැත්තාට ජනාධිපති සමාව දී නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳ වූ අවස්ථාවේදී එලෙස නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ සහ අචල වෙන්ගප්පූලි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවීය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති සමාව ලබා නිදහස් වූ යුද හමුදා සැරයන් සුනිල් රත්නායක සහ නීතීපතිවරයා ඇතුලු පිරිසක් නම් කර ඇත.