හම්බන්තොට වරාය බහාලුම් ප්‍රතිනැව්ගතකිරීම අරඹයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මෙඩිටරේනියන් ෂිපින් සමාගම විසින් මෙහෙයවනු ලබන බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ සේවාව ආරම්භ කර ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා පවසයි.

ඒ අනුව MV ‘MSC Ingrid’ බහාලුම් නෞකාව පෙරේදා (09) ප්‍රථම වරට ප්‍රතිඅපනයනය බහාලුම් තොගයක් සමග හම්බන්තොට වරාය වෙත පැමිණ ඇත.

එමෙන්ම මෙඩිටරේනියන් ෂිපින් සමාගමට අයත් දෙවන බහාලුම් නෞකාව වන ‘MSC Sky11’ නෞකාව එළඹෙන 16 වැනිදා හම්බන්තොට වරාය වෙත පැමිණීමට නියමිත අතර එහිදි බහාලුම් 500කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිනැව්ගත කෙරෙන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය කියයි.

බහාලුම් හැසිරිවීම වරාය යාන්ත්‍රණයේ අවසන් පියවර වන අතර එම සේවා ආරම්භ කිරීමත් සමග හම්බන්තොට ජාත්‍යන්තර වරාය දැවැන්තයකු ලෙස පෙරට පැමිණෙන බව එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ කියයි.

එමෙන්ම බහාලුම් සේවා ආරම්භ කිරීමත් සමග නිෂ්පාදන සහ අපනයන සේවා සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සෘජුව ආනයනය කිරීමට හැකිවීම හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රීත කර්මාන්ත කලාපයේ ආයෝජකයන්ට දිරිගැන්වීමක් ඇතිවන බව ද ඔවුන් පවසන කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *