රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් මෝටර් රථ ඇතුළු භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
27 හැවිරිදි සැකකරු මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වන අතර ඔහු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවෙක් බව පොලීසිය කළ විමර්ශන වලදී හෙළිවී ඇත.
බස්නාහිර පළාතේ පොලිස් බලප්‍රදේශ 11ක භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධි රැසක් පසුගිය කාලයේ වාර්තාවී තිබුණි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ඒවායේ විමර්ශන පැවරුණේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙතය.
විමර්ශකයන් සොරකම්වල CCTV දත්ත පිරික්සූ අතර එක් සැකකරුවෙක් යතුරුපැදියකින් ගමන් කරන අතරතුර ත්‍රිරෝද රථයක ගමන් ගත් කාන්තාවකගේ ගමන් බෑගයක් සොරාගන්නා අයුරු නිරීක්ෂණය කර තිබේ.
එය සිදුව ඇත්තේ මිරිහාන ප්‍රදේශයේදීය.
එමෙන්ම සැකකරුවන් පිරිසක් මෝටර් රථයකින් ගොස් වෙළෙඳසැලක් කොල්ලකන අයුරු දැක්වෙන රූපරාමු පෙළක්ද විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇත.
එම සිද්ධිවලට අදාළව පොලීසිය මීට දින කිහිපයකට පෙර පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන් මෙම සොරකම්වල ප්‍රධාන සැකකරු පිළිබඳ කළ හෙළි කිරීමට අනුව එම සැකකරු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සැකකරු විසින් සොරකම් කළ භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මොහු විවිධ ප්‍රදේශවලින් මෝටර් රථ හා යතුරුපැදි සොරකම් කර ඒවායෙන් ගොස් මෙම සොරකම් සිදුකර ඇති බව පොලීසිය පවසයි.
මදුෂාන් ආබෘෘ නම් පාතාල කල්ලි සාමාජිකයා සමග ද මෙම සැකකරු සමීප සබඳතා පවත්වා ඇති බව පොලීසිය කළ විමර්ශන වලදී හෙළි වී තිබේ.