සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනයකින් ඉහළට

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් පරීක්ෂා කිරීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියන 1 කින් ඉහළ ගොස් ඇති බව පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මේ බව අනාවරණය කරන ලදී.

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ජනාධිපතිවරයා වෙත ලබාදුන් වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව කමිටුව හමුවට කැඳවා තිබිණි.

සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කමිටුව විමසා සිටියා. මෙතෙක් සුරාබදු දෙපාර්තමේන්තුව ඉහළ ගොස් ඇති ආදායම අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද එම කමිටුව පෙන්වා දුන් අතර අහඹු වැටලීම් අඛණ්ඩව සිදුකිරීමෙන් මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීම තවදුරටත් අඩුවනු ඇත.

පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් 2024 ජනවාරි මස වන විට RAMIS පද්ධතිය ක්‍රියාත්මක කරන බව කමිටුව හමුවේ පෙනී සිටි නිලධාරීන් සඳහන් කළා. දැනට පවතින බදු ලිපිගොනු සංඛ්‍යාව ලක්ෂ 7ක් පමණ වන අතර ඉදිරියේදී එය ලක්ෂ 10 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව ආදායම් බදු නිවැරදිව ගෙවන පාර්ශ්වයන් ඇගයීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *