සිරි දළඳා දැක්මට දන්සල් 310ක් ලියාපදිංචි කරයි

මෙවර සිරි දළදා දැක්ම වෙනුවෙන් පැමිණෙන බැතිමතුන් සඳහා ආහාර ලබා දීම සඳහා දන්සැල් 310 ක් ලියා පදිංචි වී තිබෙන බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා පැවැසීය.

මෙවර බැතිමතුන් සඳහා දන්සැල් ලබා දීම ලියා පදිංචි කිරීම මාර්ගගතව සිදු කිරීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන ඇත.

ඒ අනුව දන්සැල් ලබා දීය හැක්කේ ලියාපදිංචි පුද්ගලයින් සහ ආයතන වලට පමණක් බවත් ඒ සඳහා ඔවුන් වෙත සහතික පත්‍රයක් ලබා දීමට ද පියවර ගෙන ඇති බවත් ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය.

සියලු ආහාර කටයුතු පරික්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් 26 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යොදවා ඇති අතර ඔවුන් විසින් දෛනිකව පරික්ෂා කිරීම් සිදු කරන බවත් පසන් පැරකුම් ජයසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ වන විට සියලුම තොග වෙළඳසැල්, හොටල්, අවන්හල් ඇතුළු ආහාර පරිහරණය කරනු ලබන ආයතන පරික්ෂා කර ඇති බවත් ඒ මහතා පැවසීය.

බැතිමතුන් සඳහා ලබා දෙන පානීය ජලය දිනපතා පරික්ෂා කිරීමට කටයුතු කරන බවත් බැතිමතුන් ගමන් ගන්නා මාර්ග දෙපස ජල කරාමද මහ නගර සභාව විසින් ස්ථාපිත කර ඇති බවත් ජංගම වැසිකිළි 150ක් ද නගරය තුළ විවේක ස්ථානයන් ද හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන අටක් ද ස්ථාපිත කර ඇති බවත් පසන් ජයසිංහ මහතා සඳහන් කළේය.

මහනුවර නගර සීමාව තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීම අඩු මට්ටමක පවතින බවත් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර ඇති බවත් ලැගුම්හල් පිරිසිදුකර මදුරුවන් පළවා හැරීම සඳහා අවශ්‍ය රසායනික දුමායන කටයුතු ද සිදු කර ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

තවදුරටත් බැතිමතුන් සඳහා දන්සැල් ලබාදීට ලියාපදිංචි වීමට අවහ්‍ය නම් මහනුවර මහ නගර සභාවේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචිය ලබා ගත හැකි බවත් ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *