සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කොවිඩ් පැතිරයාමේ අවදානම හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාව ලබාදෙමින් ජූලි මාසය ඇතුළත ලැබෙන එන්නත් මාත්‍රා සංඛ්‍යාව ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව ජුලි 11 වනදා ලැබීමට නියමිත සයිනෝෆාම් එන්නත් මිලියන දෙකෙන්, කොළඹ දිස්ත්‍රික්කයට එන්නත් ලක්ෂ දෙකක්, ගම්පහට ලක්ෂ පහක් සහ කළුතරට ලක්ෂ තුනක් බැඟින් වෙන්කර බස්නාහිර පළාතේ වයස 30ට වැඩි සියලුදෙනාට එන්නත්දීම මේ මස 30 වන දිනට පෙර අවසන් කළයුතු බව ජනාධිපතිතුමා පැවසීය.
එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ.
ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල, මාතලේ දිස්ත්‍රික්ක සඳහා එන්නත් ලක්ෂය බැඟින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට එන්නත් ලක්ෂ දෙකක් වෙන්කර තිබේ.
මෙම එන්නත් විධිමත්ව සහ කඩිනමින් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දී තිබුණි.
“ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.47ක් ඉදිරි දෙසතිය තුළ ලැබීමට නියමිතයි. ඉන් ලක්ෂ හයක් පළමු මාත්‍රාව ලබාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයට වෙන් කරනවා. ඉතිරිය කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමු සහ දෙවන මාත්‍රා සඳහා ලබාදෙන්න”, යනුවෙන් ජනාධිපතිවරයා උපදෙස් දුනි.
මේ වනවිට ලැබී ඇති ෆයිසර් එන්නත් මන්නාරම හා වව්නියා දිස්ත්‍රික්කවල ජනතාවටත්, මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයටත් ලබාදීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
ඉදිරියට ලැබීමට නියමිත එන්නත් කොවිඩ් පැතිරයාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන විද්‍යානුකූල ක්‍රමවේදයකට බෙදාහැරීමට තීරණය කෙරිණ.
මේ වන විට සැලකිය යුතු ප්‍රතිශතයකට එන්නත් ලබාදී ඇති නිසා ආර්ථික ක්‍රියාකාරකම් වෙනුවෙන් වැඩි ඉඩක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද රාජපක්ෂ මහතා එහිදී උපදෙස් දී තිබේ.
එමෙන්ම එන්නත්කරණය පිළිබඳව සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව තානාපති කාර්යාල දැනුවත් කිරීමේ අවශ්‍යතාවයද එහිදී සාකච්ඡාවට ලක්විය.