සමන් රත්නායකට ඇප නෑ

ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර  රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඔහු ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කළාය.

නඩුවේ 11 වැනි සැකකාර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන නමැත්තාගේ ඇප නියෝගය සුදානමක් නැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ හෘද රෝගී තත්වය සළකා බැලීම සඳහා පංච පුද්ගල විශේඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමටද නියම කළාය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක නමැත්තාට ඇප දීමට තරම් සුවිශේෂි කරුණු ඉදිරිපත් කර නැතැයි ඔහුගේ ඇප ඇයැදුම ප්‍රතික්‍ෂෙප කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

සැකකාර වෛද්‍ය තුසිත සුදර්ශන නමැත්තා දෙවරක්ම හෘද රෝගයන්ට ගොදුරුවී ඇති බවටත් තෙවැනි වරටත් හෘද රෝගයකට ගොදුරුවීමේ අවධානමක් ඇති බවටත් ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ සහ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල විශේඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමටද නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර වෛද්‍ය තුසිත සුදර්ශන නමැත්තාගේ රෝගී තත්වයන් සම්බන්ධ වෛද්‍ය වාර්තා වල මුල් පිටපත් එම විශේඥ වෛද්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද නියම කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *