සන්ෂයින් සුද්දාගේ ඝාතනය සම්බන්ධයෙන් හරක් කටාගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගෙන ඇත

අපරාධ කල්ලි සාමාජික අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් “සන්ෂයින් සුද්දා” ඝාතනය කිරීම සඳහා යොදාගත් වෑන් රථයේ හිමිකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය 03 වනදා මාතර කොටවිල ප්‍රදේශයේ දී “සන්ෂයින් සුද්දා” වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් වෑන් රථය පොලීසිය විසින් සොයාගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කළේය.

අනතුරුව ඊයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී 33 හැවිරිදි අදාළ වෑන් රථයේ හිමිකරු අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එය නීතිවිරෝධීව එකලස් කරන ලද වෑන් රථයක් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

එම වෑන් රථය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” නමැත්තාගේ සමීපතමයෙකුට ලබාදී ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව වෑන් රථයේ හිමිකරු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත සිටින අයෙකු බවට ද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් වෑන් රථයේ හිමිකරු අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *