“සජබ- එජාප එකතු කරන්න සජිත්ටත් ඕනෑ”

එජාපය සහ සජබ එකතු කරන්නට සමගි ජන බලවේගයේ නායකයාට ද අවශ්‍යතාවයක් තිබෙන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා බියගම ජන හමුවක දී පැවසීය.

“අලියා” නැවත ඉදිරියට ගත යුතු බව ජනතාව මෙන්ම සමඟි ජන බලවේග මන්ත්‍රීවරුන්ද තමා සමඟ සාකච්ඡා පවත්වමින් සඳහන් කර ඇතැයි විජයවර්ධන මහතා කීය.

බියගම ආසනයේ පාක්ෂිකයන්ට ස්තුති කිරීම සඳහා මෙම ජන හමුව සංවිධාන කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා:-

අපේ බලාපොරොත්තු ඉටු කරගන්නට නොහැකි වුණා.අප මහන්සි වුණත් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලබා ගන්නට නොහැකි වුණා.ජනපතිවරණ පරාජය සමඟ ඉතා අසීරු මහ මැතිවරණයකට අප මුහුණ දුන්නා.අප පරාජයකට මුහුණ දුන්නත් ඉදිරියේදී නැවත පක්ෂය ප්‍රතිසංවිධානය කරගෙන මීට වඩා ශක්තිමත් ලෙස ඉදිරි මැතිවරණ වලට මුහුණ දීමට හැකියාව තිබෙන බවට මට විශ්වාසයක් තිබෙනවා.

අද රැල්ලක් විදියට මාලිමාවේ ආණ්ඩුවක් හැදිලා තිබුණට ඒ අය ගන්න තීන්දු තීරණ දෙස බලන විට පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ නායකතුමා ගෙනය ගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන බවයි.

නමුත් ලබන වසර වන විට ඒ අයට නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දීමට වෙනවා.දැන් සිටම ඔවුන්ගේ වෘත්තීය සමිති වල සිටින අයගේ ඉල්ලීම් වැඩි වෙමින් තිබෙනවා.මූල්‍යමය වශයෙනුත් ලබන වසර වන විට ඔවුන්ට යම් හිරවීමකට ලක්වීමට සිදුවෙනවා.ඒ නිසා ආර්ථිකය ජනතාවගේ මූලික ප්‍රශ්නයක් බවට නැවත පත්වෙන්න නියමිතයි.ඒ අවස්ථාව වන විට අප ශක්තිමත්ව සිටිය යුතුයි.එජාපයේ පමණක් නොව සමගි ජන බලවේගයේ අයත් මා සමග මේ දිනවල කතා කරනවා.මේ පක්ෂ දෙක වෙන්වී පලක් නැති බවත් එකතු විය යුතු බවත් ජනතාවගේ අදහසයි.ඒ දේ කරන්න පුළුවන් වෙිවි යැයි මා සිතනවා.

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු කළ යුතු යැයි සමගි ජන බලවේගයේ නායකතුමාට ද අවශ්‍යතාවයක් තිබෙනවා.එමෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම මා සමග මේ දිනවන කතා කරනවා.එම නිසා ඒ පක්ෂ දෙක කෙසේ හෝ එකතු කර ගත යුතුයි.

රටේ ජනතාවට අවශ්‍යතාවයක් තිබෙන නිසා නැවත අලියා ඉදිරියට ගත යුතු බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ද පවසනවා.

මහ මැතිවරණය සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් යන විටද ජනතාව අසන්නේ සිලින්ඩරයක් ගෙනවිත් තියෙන්නේ ඇයි? අපේ අලියා කෝ! යනුවෙනුයි.ජනතාව තුළින් එම ඉල්ලීම් ලැබෙමින් පවතිනවා.අලියාගෙන් පැමිණීම ජනතාවගේ බලාපොරොත්තුවක් බව මහා නායක ස්වාමීන් වහන්සේලාද අප සමග පැවසුවා. තවමත් රටේ ජනතාවගේ හදවතේ “අලියා” ඉන්නවා.

පක්ෂය හදනවා නම් නැවත අපි ප්‍රතිසංවිධාන කරගෙන ආසන සඳහා සුදුසු සංවිධායකවරුන් පත් කරගෙන වෘත්තීය සමිති ගොඩනගා සියල්ල ප්‍රතිසංවිධානය කළ යුතුව තිබෙනවා.

එමෙන්ම අපට තව මැතිවරණයකට මුහුණ දෙන්නට වේවි.ඒ පළාත් පාලන මැතිවරණයයි.ඒ මැතිවරණයට මුහුණ දීම සඳහා එක්වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. එම මැතිවරණය අනෙක් මැතිවරණ වලට වඩා වෙනස්.හිතවත් කමට ගමේ කමට ඡන්දය ලබා දෙනවා.ඒ නිසා මහන්සි වුනොත් යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වේ යැයි අප විශ්වාස කරනවා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුවේ අප සමග එකතු වූ කණ්ඩායමට අපගේ ස්තූතියි පුද කළ යුතුයි.

අප ලැබූ පරාජයෙන් යම් කිසි පාඩමක් ඉගෙන ගෙන ඉදිරියේදී ප්‍රතිසංවිධාන කටයුතු කරමින් නැවත ආසන වලට ගොස් වැඩ කටයුතු කරමු.තරුණයන් අප සමග එකතු කරගන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතුව තිබෙනවා.

අපි මහන්සි වෙමු.ඉදිරියේදී අපට ජයග්‍රහණය කරන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *