ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ආණ්ඩු වෙනසක් නොව ක්‍රමවල වෙනසක් බව රනිල් පවසයි.

සිංහල අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශ සංචිත තවදුරටත් සිඳී යනු ඇති බව පවසන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට අද අවශ්‍ය වී ඇත්තේ ආණ්ඩු පෙරළියක් නොව විප්ලවයක් වළක්වා ගැනීම සඳහා දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු ක්‍රමවල වෙනසක් බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වික්‍රමසිංහ කියා සිටියේ අලුත් අවුරුද්දෙන් පසු දින කිහිපයකින් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සිඳී යනු ඇති බවයි. “අලුත් අවුරුද්දෙන් පසු දින කිහිපයකින් අපේ විදේශ සංචිත සිඳී යනු ඇත. ඉන්දියානු ණය මාර්ග සහ අනෙකුත් ආධාර භාවිතයෙන් ආර්ථිකය පවත්වාගෙන යා හැක්කේ මැයි පළමු හෝ දෙවන සතිය දක්වා පමණි. උද්ධමනය අගෝස්තු දක්වා ඉහළ යනු ඇත. උද්ධමනය යනු උණ වැනි දෙයක් වන අතර එය අඩු වීමට පෙර උපරිමයට නැඟේ. මේ වසරේ අගෝස්තු මාසය වන විට පෞද්ගලික සමාගම් වසා දැමීමට සිදුවනු ඇත. ඒ නිසා අපට අවශ්‍ය ආර්ථිකය පණ ගැන්වීමේ වැඩපිළිවෙළක්. අඩුම තරමින් ඉදිරි වසර දෙක තුළ ආර්ථිකය පණ ගැන්වීමට අප කටයුතු කළ යුතුයි. මම යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවට මුදල් පවරා ගැනීම සඳහා නව නීති සම්පාදනය කිරීමයි. මම මේ සඳහා ප්‍රතිසංස්කරණ මාලාවක් සූදානම් කරමින් සිටිනවා,” වික්‍රමසිංහ මහතා පැවසීය.

“අද පවතින තත්ත්වය තේරුම් ගත යුතුයි. තාරුණ්‍යය විසින් නායකත්වය දුන් මිනිසුන්ට අවශ්‍ය වන්නේ අලුත් ආරම්භයක් සහ ක්‍රමවල සම්පූර්ණ වෙනසක්. මේ වන විට පාර්ලිමේන්තුවේ අවධානය යොමුව ඇත්තේ ආණ්ඩු වෙනසක් කෙරෙහිය. මේ මොහොතේ ක්‍රියාත්මක වන සාමකාමී විරෝධතා ජනතා ඉල්ලීම්වලට කන් නොහැරියොත් විප්ලවයක් බවට පත්වේවි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *