ශ්‍රීලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් කඩිනමින් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්විමකදී එම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව ලබන ජූලි 06 වැනිදා ශ්‍රීලංකන් ගුවන් සේවයත්, ජූලි 07 වැනිදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් අදාළ ආයතනයන්හි වර්තමාන තත්ත්වය සලකා බැලීම සඳහා කෝප් කමිටුව හමුවට කැඳවීමට කමිටු සමාජිකයන්ගේ එකඟතාව පළ වී තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ පවතින ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම යන ආයතනවල වර්තමාන තත්ත්වයද විමර්ශනය කිරීමට නියමිතයි.
එයට අමතරව ලබන ජූලි 08 වැනිදා සිට පසුගිය කාලය තුළ කැඳවීමට නොහැකිවූ ආයතන නැවත කැඳවීමටද මෙහිදී කමිටු සාමාජිකයින් එකඟතාව පළ කර ඇති බව සඳහන් වේ.
දැනට පාර්ලිමේන්තු විවාදයක් සඳහා යෝජිතව ඇති මහපොළ භාරකාර අරමුදල යටතේ පවතින මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පිළිබඳව ද කෝප් කමිටුවේ අවධානය යොමුව තිබේ.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඉදිරි කෝප් කමිටු රැස්වීම් සඳහා ආයතන කැඳවීමේ දී, අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා, අදාළ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආයතනයේ සභාපතිවරයා, ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයා සහ ගණකාධිකාරීවරයා ඇතුළු නිලධාරින් 06 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවක් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
ඊට අදාළ සෙසු නිලධාරීන් මාර්ග ගත ක්‍රමයට සම්බන්ධ කර ගැනීමටත් කමිටු සාමාජිකයින් එකඟතාව පළ කර තිබේ.