ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන යළිත් පුරෝකථනයක්

ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රමුඛතම ආර්ථික ප්‍රකාශනයකට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේදී මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවට පුරෝකතනය කර තිබේ.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වසර දෙකක අඛණ්ඩ හැකිලීම්වලින් පසුව මෙම තත්ත්වය පෙන්නුම් කරන බවය.

ඒ අනුව මෙම වසරේදී මෙරට ආර්ථිකය සියයට 1යි දශම 9ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

අදාළ ප්‍රකාශනයට අනුව 2025 වසරේදී මෙරට ආර්ථිකයේ සියයට 2යි දශම 5ක වර්ධනයක් පුරෝකථනය කර තිබේ.

පැවති අර්බුදකාරී වාතාවරණයෙන් පසු 2023 වසරේ මැද භාගයේ සිට මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ සලකුණු පෙන්නුම් කළ අතර මේ වනවිට උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහත වැටී ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි‍.

එමෙන්ම සංචාරක පැමිණීම් ඉහළ යාම සහ විදෙස් ප්‍රේෂණ ගලා ඒම ද ප්‍රශංසනීය තත්ත්වයක පවතින බව අදාළ ප්‍රකාශනයෙන් සඳහන් වේ.

දුෂ්කර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හමුවේ ශ්‍රී ලංකාව මේ වනවිට ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *