ශ්‍රී ලංකාවට කාර්මික විප්ලවය මඟහැරිලා තවමත් සිටින්නේ දෙවැනි තැන

ශ්‍රී ලංකාව අවස්ථා පහකදී කාර්මික විප්ලවය මඟහැර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජයවර්ධන මහතා පැවසුවේය.

මේ වනවිට ලෝකයේ රටවල් බොහොමයක් කාර්මික විප්ලවයේ හතර වැනි හෝ පස් වැනි අවස්ථාවේ පසුවන බවත් ශ්‍රී ලංකාව තවමත් කාර්මික විප්ලවයේ දෙවැනි අවස්ථාවේ සිටින බවත් හිටපු නියෝජ්‍ය අධිපතිවරයා කීවේය.

මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආචාර්ය එච්.එන්. තේනුවර මහතා විසින් රචිත “Economic Policy Lessons for New Sri Lanka” කෘතිය එළිදැක්වීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවති උත්සවයේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ආචාර්ය තේනුවර මහතා විසින් මෙරට පුවත්පත් සඳහා විවිධ අවස්ථාවලදී ලියන ලද ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කාලීන ප්‍රවණතාවන් පිළිබඳ ලිපි එකතුවක් මෙම කෘතියට ඇතුළත්ය.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සංවර්ධනය වීමට නම් පවතින දෙවැනි අවස්ථාවේ සිට පස්වැනි අවස්ථාව තෙක් කාර්මික විප්ලවයේ දිගු පිම්මක් පැනිය යුතු බව මෙහිදී අදහස් දක්වමින් විජයවර්ධන මහතා කීවේය. ඒ පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදකයන් අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආචාර්ය එච්.එන්. තේනුවර මහතා මේ කෘතිය මඟින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය කඩා වැටීම, ආර්ථිකය කඩා වැටීම මෙන්ම ජනතාව යම්කිසි හෝ ජීවන තත්ත්වයක් තුළ ජීවත්වීමට අවශ්‍ය වටපිටාවක් සලසා දීම පාලකයන් සතු වගකීමක් බවයි.

තේනුවර මහතා තමන්ගේ අදහස් බිය නැතිව ප්‍රකාශ කිරීමට කටයුතු කළ අතර ආර්ථිකය පිළිබඳ විද්වතකු ලෙස විවිධ පර්යේෂණ සිදු කර ඒවායේ වාර්තා මූල්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්නට කටයුතු කළ බව ද හෙතෙම කීවේය.

තමන්ගේ යෝජනා වෙනුවෙන් ඇතැම් අවස්ථාවල වාද විවාද ඇති කරන්නත් තේනුවර මහතාට සිදු වූ බවත් ඔහු කලින්ම විශ්‍රාම යෑම නිසා රටට ඉතා හොඳ මහ බැංකු අධිපතිවරයකු අහිමි වූ බවත් ඒ මහතා කීවේය.

අපි විසින්ම ආර්ථිකමය වශයෙන් ගත් ඇතැම් තීරණ තීන්දු නිසා දූෂණ හා වංචා සිදු වූ බව ද රට ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටෙන්නට ඒවා බලපෑ බව ද පැවසුවේය.

සිංගප්පූරුව ඉතා පහළ තැනක සිටින අවස්ථාවේ ශ්‍රී ලංකාව ඉතා ඉහළ තැනක සිටි බව පැවසූ ඒ මහතා, අද වනවිට සිංගප්පූරුව ශ්‍රී ලංකාව පසු කර ඉතා වේගයෙන් ඉහළ ගොස් සිටින බව ද ප්‍රකාශ කළේය. නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැතිව තීන්දු තීරණ ගැනීමෙන් මේ තත්ත්වය අත්ව තිබෙන බව ද අවධාරණය කළේය.

මේ අවස්ථාවට හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආචාර්ය චන්න ද සිල්වා ඇතුළු මහ බැංකුවේ හිටපු නිලධාරීන් රැසක් සහභාගි වූ අතර, පැවති විද්වතුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, දේශපාලනඥයෝ ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *