විදේශ කාර්යාංශය කෝටි සීයක් පිනට දීලා

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමෙන් රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් නාස්තිවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය Glocal Fair වැඩසටහන් සඳහා කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවත් කැබිනට් පත්‍රිකාව වැඩසටහන යන අතරතුර අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් කෝප් කමිටුව පවසයි.

එම වැඩසටහන සඳහා රුපියල් කෝටි 126කට ආසන්න මුදලක් වැය වී ඇතැයිද කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණයවිය

ඵලදායී වැඩසටහන්වලට යෙදවීමට තිබූ මුදලක් අරමුණකින් තොරව නිසි ලෙස සැලසුම් නොකළ වැඩසටහන් වලට යෙදවීමෙන් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වී ගොස් තිබූ බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.

වැඩ සටහන් මාලාව ආරම්භක අවස්ථාවේදී වෙළද කුටියක් රුපියල් එක් ලක්ෂ හැත්තෑ දහසකට මිලදී ගත්තද පසුව ලක්ෂ පහක මුදලකට ලබා ගැනීම සම්බන්ධයෙන් ද කාරක සභාව මෙහිදී විමසා සිටියේය.

කාර්යාංශය 2013 වසරේදී සමෘද්ධි අධිකාරිය සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව කටයුතු නොකිරීම හේතුවෙන් රටවිරු නිවාස ණය වැඩසටහනෙන් රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් තවමත් ලැබී නැතැයි එම කාරක සභාවේදී හෙළි විය.

මෙම නිවාස ව්‍යාපෘතියෙන් කොපමණ පිරිසකට ප්‍රතිලාභ ලැබුණේ දැයි කමිටුව විමසා සිටි අතර ඒ පිළිබඳ දත්ත කිසිවක් නොමැති බව කාර්යාංශයේ නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.

මෙම වැඩසටහන පිළිබඳව කිසිදු පසු විපරමක් සිදුවී නොමැති බව පැවසූ කාරක සභා සභාපතිවරයා රට පුරා නිවාස ණය වැඩසටහන පිළිබඳව ආරම්භයේ සිට වර්තමානය දක්වා තොරතුරු ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස එහි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ දේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන කාර්යයෙන් බැහැර වී ඇතැයි කෝප් කමිටුව පවසයි

මේ තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2022 2023 මූල්‍ය වර්ෂ වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *