විදේශ ආයෝජකයින් දිරිගැන්වීමට පියවර

විදේශ ආයෝජකයින් දිරිගැන්වීමේ අරමුණින් වීසා බලපත්‍ර කාලසීමාව වසර 5ක් දක්වා දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.

ආගමන සහ විගමන සංශෝධන පනත් කෙටුම්පත මගින් අදාළ කාලසීමාව දීර්ඝ කිරීමට නියමිතය.

අදාළ සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සභාපතීත්වය දරන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට ඊයේ ඉදිරිපත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එම පනත දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කාරක සභාවේ එකඟතාව හිමිවූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

1948 අංක 20 දරන ආගමන සහ විගමන පනතේ 14 වන වගන්තිය සංශෝධනයට ලක් වන අතර එහිදී දැනට වීසා ප්‍රදානය කළ හැකි කාලසීමාව අවුරුදු 2 සිට 5 දක්වා වැඩිකිරීමට නියමිතය.

තවද අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව වීසා ප්‍රදානය කළ හැකි කාලසීමාව අවුරුදු 5 සිට අවුරුදු 10 දක්වා වැඩිකිරීමට ද නියමිතව තිබේ.

විදේශ අයෝජකයන්ට ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට වඩාත් සුරක්ෂිත වාතාවරණයක් සැලසීම ඇතුළු සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් එම සංශෝධනය මගින් හිමිවන බව ආගමන විගමන පාලක සරත් රූපසිංහ මහතා උපදේශක කාරක සභාවේ දී ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *