විදුලි බිල සියයට 20කින් පහත දමයි

විදුලි ගාස්තුව සමස්ත වශයෙන් සියයට 20 කින් අඩු කිරීමට තීරණය කළ බවත් ඇතැම් පාරිභෝගික කණ්ඩවලට සියයට 30 කට වැඩි විදුලි ගාස්තු අඩු වීමක් වන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සංනිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා පැවසීය.

විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා කොල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ ඊයේ(17) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ජයනාත් හේරත් මහතා එසේ පැවසීය.

එම කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා ප්‍රමුඛ මණ්ඩලය ගත් එම විදුලි ගාස්තු අඩු කිරීමේ තීරණය ඊයේ(17) මාධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන බවත් මහජන උපයෝගිතා පනතට අනුව විදුලි ගාස්තු පිළිබඳ තීරණය ගැනීමේ බලය එම කොමිසමට තිබීම නිසා විදුලිබල මණ්ඩලය ගාස්තු අඩු කිරීමට බැදී සිටින බවත් හේරත් මහතා කීය.

ගෘහස්ථ කාණ්ඩයේ සමස්ත ගාස්තු අඩු කිරීම සියයට 20 ක් වුවද එම කාණ්ඩයේ ඒකක 0-30 ත් අතර කාණ්ඩයේ සියයට 20 ක්, ඒකක 31-60 ත් අතර කාණ්ඩයේ සියයට 28 ක්, ඒකක 61-90 ත් අතර කාණ්ඩයේ සියයට 19 ක්, ඒකක 91-180 ත් අතර කාණ්ඩයේ සියයට 18 ක්, ඒකක 180 සහ ඊට වැඩි කාණ්ඩයේ සියයට 31 ක් සහ කාලපාදක කාණ්ඩය සියයට 31 ක් දක්වා විදුලි ගාස්තුව පහත දැමූ බව ද හේරත් මහතා පැවසීය.

සෙසු කාණ්ඩ අතරින් හෝටල් කාණ්ඩයේ සියයට 31 කින් සහ කර්මාන්ත කාණ්ඩයේ සියයට 30 කින් විදුලි ගාස්තුව අඩු කළ බවත් ආගමික සහ පුණ්‍යායතන කාණ්ඩයේ සියයට 21 කින් ද, පොදුකාර්ය කාණ්ඩයේ සියයට 12 කින් ද, රාජ්‍ය ආයතන සහ වීථි ලාම්පු යන කාණ්ඩවල විදුලි ගාස්තු සියයට 11 බැගින් ද, අඩු කළ බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ පහළම කාණ්ඩය වන ඒකක 30 දක්වා මෙතෙක් අයකළ රුපියල් 280 ක ගාස්තුව රුපියල් 195 ක් දක්වා ද, දෙවැනි කාණ්ඩය වන ඒකක 60 දක්වා කාණ්ඩයේ මෙතෙක් ගෙවූ රුපියල් 700 ක ගාස්තුව රුපියල් 500 ක් දක්වා ද, අඩු වූ බවත් ඒ ආකාරයට සියලුම කාණ්ඩවල ගාස්තු අඩුවෙද්දී ඒකක 300 සහ ඊට වැඩි කාණ්ඩයේ ගෘහස්ථ පාරිභෝගිකයෙක් මෙතක් ගෙවූ රුපියල් 14,660 ක බිලෙන් රුපියල් 2,760 ක් අඩුවී එය රුපියල් 11,900 ක් බවට පත්වන බවත් ඒ මහතා කීය.

ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය දෙසැම්බර් 6 වැනිදා 2025 වසf්ර පළමු මාස නවය තුළ ගාස්තු අඩු කළ නොහැකි යැයි යෝජනාවක් ඉදිරිපත් කළ අතර එයට ප්‍රතියෝජනවක් එම කොමිසම විදුලි ගාස්තු සියයට 11 කින් අඩු කළ හැකියැයි පසුගිය දෙසැම්බර් මස 17 වැනිදා යොමු කළ බවත් ඒ අනුව එම කොමිසම පළාත් නවයේම මහජන අදහස් ගැනීමේ සමුළු පවත්වා විදුලි ගාස්තුව සියයට 20 කින් අඩු කිරීමේ අවසන් තීරණය ගත් බවත් ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවේ මාස 9 ක කාලය මාස 6 ක් දක්වා අඩු කර, එම මාස නවය තුළ මණ්ඩලයේ අතිරික්තය ලෙස සඳහන් කර තිබූ රුපියල් බිලියන 2,334 පිළිබඳව අධ්‍යනය කළ බව කී හේරත් මහතා ඒ අනුව මෙම වසරේ පළමු මාස 6 තුළ පමණක් විදුලිබල මණ්ඩලයේ අතිරික්තය රුපියල් බිලියන 44,000 ක් වියයුතු යැයි පුරෝකථනය කළ බව ද සඳහන් කළේය.

ඒ අනුව එම බිලියන 44,000 හරහා මෙරට විදුලි පාරිභෝගිකයන්ට සියයට 20 ක විදුලි ගාස්තු සහනයක් දීමට තීරණය කළ බව ද හේරත් මහතා සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය මෙම විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකළ හොත් ඒ සඳහා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන ඇති බව ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සංනිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *