විදුලි ගාස්තු සියයට 15 කින් වැඩි කිරීම ජනවරම පාවාදීමක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
විදුලි ගාස්තු 33%කින් අඩු කරන බව ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා රජය මැතිවරණ වේදිකාවේ පැවසුවත් විදුලි ගාස්තු වැඩි කරන්නට ගෙන ඇති ක්‍රියාමාර්ගය මෙරට විදුලි පාරිභෝගික ජනතාවගේ අයිතිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මහජන උපයෝගීතා කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ රජය සහ විදුලි බල මණ්ඩලය සිදු කරන ලද යෝජනාවක් අනුව බැවින් විදුලි ගාස්තු වැඩි කිරීම ජනවරම පාගා දැමීමක් සහ ජනතාවගේ හඬට ඇහුම්කම් නොදීමක් මෙන් ම මෙරට ජනතාව රැවටීමක් බවත් විදුලි බිල ඉහළ දැමීම ගැන කොළඹදී විහේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා පැවසීය.
රු.9000 බිල රු.6000ත් රු. 3000 බිල රු.2000 දක්වා 33%කින් විදුලි ගාස්තු අඩු කරන බව මැතිවරණ වේදිකාවක් පාසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශ අද වනවිට අසත්‍යයක් බවට හෙළි වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මාලිමාව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා නව අයි එම් එෆ් ගිවිසුමකට, එකගතාවකට ප්‍රවේශ වන බවට පැවසුවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රටත් ජනතාවත් මේ කොන්දේසිවලට යටත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය ජනතාවට ඉදිරිපත් කළ කරුණු සියල්ල බොරු බවට පත් කරමින් 15% විදුලි ගාස්තු වැඩි කිරිම මගින් දුප්පත් සාමාන්‍ය ජනතාව වැඩ කරන ජනතාව කර්මාන්තකරුවන් සංචාරක ක්ෂේත්‍රය පීඩවට පත් කරමින් යන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විදුලි ගාස්තු වැඩි කිරිම වෙනුවට 33%කින් විදුලි බිල අඩු කර දුන් ජනවරම පාවා නොදී ජනතාවට දුන් පොරොන්දු වහාම ඉටු කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවද ප්‍රේමදාස මහතා කීවේය.
විදුලි පාරිභෝගික ජනතාව සමග එකට සිටගෙන එම පොරොන්දු ක්‍රියාවට නංවන තෙක් සමගි ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නිරතවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය