වාහන ලියාපදිංචි හිස් පොත් 12ක් අස්ථානගත වෙලා

මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව තිබූ මුද්‍රණය නොකරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 12ක් අස්ථානගත ව ඇතැයි  බොරැල්ල පොලිසිය කියයි.

මෝටර් වාහන හිස් පොත් 12ක් අස්ථානගත වී ඇති බවට වෙළඳ වාහන පැවරුම් අංශයේ නිලධාරිනියක එම පැමිණිල්ල සිදුකර ඇත.

අස්ථානගත වූ පොත්වල අංකයන්ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර පිළිවෙලින් තිබෙන අංක එම පොත්වල සඳහන්ව ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.

එම පොත් කහ පාටින් මුද්‍රණය කළ පොත් බවට වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.

වෙළඳ වාහන පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරයාගේ නිල කාමරයේ කබඩ් එකක අලුතින් මුද්‍රණය කරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 1000 ක් තබා තිබී ඇති අතර ඒ අතරින් මෙම පොත් අස්ථානගතව ඇතත් කබඩ් එකේ ඉබියතුරු කඩා නැතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම කාමරයට ප්‍රවිෂ්ට වන දොර දර්ශනය වන ආකාරයෙන් සීසීටීවි කැමරාද ක්‍රියාත්මක වන බැවින් ඒ ඔස්සේද විමර්ශන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

එකි පැමිණිල්ල අනුව වෙළඳ වාහන පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරයාගෙන්ද ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *