ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක් නොවේ – ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

ව්‍යවස්ථායක සභාව ව්‍යවස්ථාදායකයේ කොටසක් වන අතර, විධායකයේ කොටසක් නොවන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

කථානායකවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පිළිබඳ වූ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

ස්වාධීනව අපක්ෂපාතීව තීන්දු ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් සිදු කරනවා. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා උසාවි ගිහින් නැහැ. එතුමා මහාචාර්ය වුණාට වෘත්තීය නීති විභාගය සමත් කරලා නැහැ. ඒ නිසා උසාවියක නඩුවකට පෙනී සිටලත් නැහැ. පෙනී සිටින්නත් බැහැ. 2002 දී එතුමා ව්‍යවස්ථා කෙටුම්පතක් හැදුවා. එය පාර්ලිමේන්තුවේදී පිලිස්සුවා. එතනින් ඒක ඉවරයි. චන්ද්‍රිකා ආණ්ඩුවේ සිට එතුමා ඔය පැත්තට ගියා. 2001 ඒ මහතා එජාපයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවා. 2004 දක්වා ඇන්ටන් බාලසිංහම් සමඟ සාකච්ඡා තුනක් තිබුණා. ඔස්ලෝ, බැංකොක්, ටෝකියෝවල. ඒවාට සහභාගි වුණා. 2004 දීත් එජාපයේ ජාතික ලැයිස්තුවෙන් ආවා. 2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වුණාට පසුව මහින්ද මහතාගේ අත ශක්තිමත් කිරීමට මේ පැත්තට ආවා. විදේශ ඇමැති වුණා. 2013, 2014 දී අපි යූ.එන්. එකේ ඡන්ද දෙකක් පරාදයි. චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුවේ 2002 වසරේදී නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා විදියට ඉදිරිපත් කළ අය වැය ඍණ ආර්ථිකයක්. කවුද මේවාට වග කියන්න ඕනෑ. 2015 දී ජාතික ලැයිස්තුවෙන් එන්න බැරි වුණා. මෛත්‍රීපාල මහතා දැම්මේ නැහැ. ඊට පසුව පොහොට්ටුවේ සභාපතිවරයා වුණා. දැන් එතුමා කොහේද ඉන්නේ. දැන් ඉන්නේ එතුමා ඔය පැත්තේ. දැන් එතුමාද දන්නේ නැහැ මේ වාර්තාව හැදුවේ.

ව්‍යවස්ථාදායක සභාව දැන ගත යුතුයි රටේ කවුරු පාලන බලයේ සිටියත් පාලනය ගෙන යෑම සඳහා අදාළ ආයතන ශක්තිමත් විය යුතුයි. අධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීම ප්‍රමාද වන්නේ නම් එක් විනිසුරුවරයකුගේ කාරණාවක් නිසා කොහොමද ව්‍යවස්ථාදායක සභාව නඩු තීන්දු විශ්ලේෂණය කරන්නේ. කවුරු බලයේ හිටියත් මේවා කඩිනමින් අවසන් කළ යුතුයි. මේ විශ්වාසභංගය දෝෂසහගතයි. එය හරියට ඩ්‍රාෆ්ට් වෙලා නැහැ. බාකීර් මාකර්, දිලිප් වෙදආරච්චි, ගයන්ත කරුණාතිලක, රාජිත සේනාරත්න මහත්වරුත් සජබයේ ඉන්නවා. මට කනගාටු ඒක. එක එක පක්ෂවලින් පැන පැන එන අයගෙන් උපදෙස් ගැනීම නිසා සජබයත් දියාරු වෙනවා. අපි ඒකට කැමති නැහැ. අපට ශක්තිමත් විපක්ෂයක් ඕනෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *