වසර 2ට වෛද්‍යවරු 2000ක් රට හැර ගිහින්

ගෙවුණු වසර දෙකක  කාලය තුළදී  වෛද්‍යවරුන් 2000 කට අධික  පිරිසක් මෙරට හැරගොස් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය සඳහන් කරයි.

මෙරට රැඳී සිටින වෛද්‍යවරුන් රැක ගැනීම වෙනුවෙන් කඩිනමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුණහොත්,  රෝහල් පද්ධතිය බිඳවැටීම වැළැක්විය නොහැකි වනු ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.

මේ නිසා  සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම විය යුත්තේ විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍යවරුන් රැක ගැනීම සදහා කාල රාමුවක් සහිත නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිම බවද සඳහන් කරයි .

පසුගිය පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය අනුව වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා අගයන් කප්පාදු කරන කළ බවත් , තම සංගමය විසින් සිදු කරන ලද වෘත්තීය සටනක් අවසානයේ එම අගයන් පෙර තිබූ තත්ත්වයටම රැගෙන ඒමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බවත් වෛද්‍යවරු සඳහන් කරති.

ඒ අනුව අයවැය ලේඛනයට  ජනාධිපතිවරයා විසින්ම සංශෝධනයක් ඉදිරිපත් කරන ලද අතර ඊට අනුකූලව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛය 2023.03.25 නිකුත් කළ බවද සඳහන් කරයි.

එම මාර්ගෝපදේශයන්ට යටත්ව වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනා අගයන් සහිත චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් 2025.04.28 දින නිකුත් කළත් එම  චක්‍රලේඛයේ වැරදි සහ දෝෂ ගණනාවක් නිරීක්ෂණය වූ බවත්  අමතර රාජකාරී දීමනා අගයන් ගණනය කිරීම වැරදි ලෙස දක්වා තිබුණු අතර මූලික ප්‍රතිපත්තිමය සහ තාක්ෂණික කරුණු ගණනාවක් ද උල්ලංඝනය කර ඇති බව නිරීක්ෂණය වූ බවද පෙන්වා දෙයි.

තම සංගමය එම චක්‍රලේඛයට විරුද්ධත්වය ප්‍රකාශ කළ  බවත් මේ අනුව 2025.04.29 දින සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු බලධාරින් සමඟ පැවති සාකච්ඡාවේදී එම වැරදි නිවැරදි කරමින් වහාම නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට එකඟ වූ බවත් සඳහන් කරයි.

ප්‍රකාශයට පත් කරන ලද තීරණ පවා ක්‍රියාත්මක නොකිරීමෙන් සෞඛ්‍ය සේවාවෙහි අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීම පිටුපස කුමන බලවේග ක්‍රියාත්මක වන්නේ දැයි විමර්ශනය කළ යුතු බවත්  නිවැරදි කරන ලද චක්‍රලේඛය සතියක් ඇතුළත වහාම නිකුත් කළ යුතු බවත්, එසේ නොවන්නේ නම්  වෘත්තිය ක්‍රියාමාර්ගවලට පවා එළඹීමට සිදුවන  බවත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *