වසර දෙකකට පසුව මිහින්තලේ පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පසුගිය වසර දෙක තුල රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව සිදු කෙරුණු පොසොන් මහා පිංකම වතමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත් වීම මත මෙවර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරිමට සියලු කටයතු සූදානම් වෙමින් පවතින බව මිහින්තලා රාජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක හිමිපාණන් පැවසූහ.

ඓතිහාසික මිහින්තලය රජමහා විහාරස්ථානයේ  මැද මළුවේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මෙසේ  පැවසූහ.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් ඇතුලු රාජ්‍ය නිලධාරින් එක්ව සාර්ථක ලෙස  පිංකමේ සංවිධාන කටයුත සිදු කරමින් පවතින බව උන් වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.

පසුගිය වසර දෙක තුල රාජ්‍ය අනුග්‍රහය නොලැබුණ ද දෙස් විදෙස් ජනතාවගේ නොමද සහය ඇතිව පොසොන් උත්සවය පැවැත් වූ බව ද නායක හිමිපාණන් වහන්සේ අවධාරණය කර සිටියහ.

මේ සදහා  ත්‍රෛයි නිකායික නායක හිමිපාණන් වහන්සේලා ද වැඩම කරන බව මිහින්තලා රාජ මහා විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේ සදහන් කරති.

මිහින්තලේ පුදබිම වන්දනා කිරිමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා වන පොදු හා යටිතල පහසුකම් සියල්ල සකස් වෙමින් පවතින අතර පොසොන් වන්දනාවේ පැමිණෙන පිරිස් සුදුසු ඇදුමකින් සැරසී පැමිණිය යුතුයි.

පරිසරය අපවිත්‍ර වන සේ කටයුතු නොකළ යුතු ය. පොසොන් සතිය පුරාම දිස්ත්‍රික්කයේ සුරා සැල් හා මස් කඩ වසා තැබීමට ද තීරණය කර තිබේ.

මෙවර පැවැත්වෙන්නේ 2333 වන ජාතික පොසොන් පිංකමයි. මිහිදු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වී මේ වසරට වසර 2284 ක් ගතව ඇත. එමෙන්ම සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී වසර 2569 ක් ගෙවී තිබේ.

මේ සියලු දේ සිහිපත් කරමින් උතුම් පොසොන් පිංකම සාර්ථකව සිදු කිරිමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ද මිහින්තලා රාජ මහා විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේ සඳහන් කලහ.

පොසොන් පිංකමට අදාල මිහින්තලා සති පිරිත් දේශනාව හෙට රාත්‍රියේ දී ආරම්භ වේ. එළඹෙන අටවන දා පවත්වන හීල් දානයෙන් පසුව සති පිරිත් පිංකම අවසන් වීමට නියමිතයි. ජුනි නව වන දින ආලෝක පූජාව ආරම්භ කෙරේ. එදින සන්ධ්‍යාවේ දී ‌ෙඑතිහාසික මිහිදු මහා පෙරහැර ද වීථි සංචාරය කිරිමට නියමිතව ඇත.

පොසොන් පොහොය යෙදෙන ජුනි 10 වන දින උදෑසන සිට මිහිදු මා හිමියන් අනුස්මරණය කරමින් විවිධ පිංකම් ආරම්භ කිරිමට ද නියමිතයි. 10 වනදා උදෑසන කාලයේ දී ජනාධිපති අනුර කුමර දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් පැමිණ රාජ්‍ය පොසොන් උත්සවය නිල වශයෙන් ආරම්භ කිරිමට නියමිත බව ද මිහින්තලා රාජ මහා විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේ පැවසූ හ. 10 වනදා සවස ආලෝක පූජාව පවත්වන්නේ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙනි.

“ඓතිහාසික මිහින්තලා පුද බිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ඓතිහාසික පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කිරීමට කටයුතු කරන බව මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන අතරවාරයේ එම ස්ථානයට පැමිණි  වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මිහින්තලා රජමහා විහාරයට පැමිණියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පොසොන් උත්සවය ඉදිරි වැඩ කටයුතු සොයා බැලීම සඳහාය.

මිහිඳු මහ රහතන් වහන්සේට කෘතගුණ සැලකීම වෙනුවෙන් පවත්වනු ලබන මෙවර රාජ්‍ය පොසොන් උත්සවය 2022 ට පෙර පැවති ආකාරයටම පැවැත්වීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී  සඳහන් කළේය.

වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද අද පෙරරුවේදී මිහින්තලා රජමහා විහාරයට පැමිණ නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමට අවශ්‍ය සියලු මැදිහත්වීම සිදු කරන බවය.

මීට අමතරව මිහින්තලා පුදබිම ඇතුළු මිහින්තලය දෙස් විදෙස් ආකර්ෂණය වැඩි කර ගැනීම අරමුණු ඇතිව ඉදිරියේදී මිහින්තලා නගරය මූලික කරගනිමින් නව සංවර්ධන වැඩසටහන් කරන බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *