‘‘වර්තමාන ආණ්ඩුවට ඡන්දය දීමේ භායානක ප්‍රතිඵලය ජනතාව විදිනවා‘‘

වර්තමාන ආණ්ඩුවට ජනතාව ඡන්දය දීම වැරදි වුවත් එය පිළිගත යුතු බවත් ජනතාව ඡන්දය දීමේ ඉතාම භායානක ප්‍රතිඵලය ජනතාවටම විදීමට සිදුවී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය් සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා  පැවසීය.

මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ‘බොරුව නවතනු පොරොන්දු ඉටුකරනු’ යන තේමාව යටතේ  පැවැති එම පක්ෂයේ කම්කරු දින සැමරුම් උත්සවයේදී එම පක්‍ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා එසේ පැවසීය.

ජනතාව පසුගිය මැතිවණවලදී සියලුම දේශපාලන පක්‍ෂවලට දුන් පණිවුඩය අනිවාර්යෙන්ම වටහාගත යුතු බවත් එසේ නොවී පැරණි විදියටම ගිය හොත් පැවැත්මක් නොමැති බවත් සභාපතිවරයා කීය.

ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්‍ෂ පසුගිය කාලයේ දේශපාලන කුණාටුවකට හසුව සෑම පක්‍ෂයක්ම දෙකට තුනට කැඩුණු බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පමණක් මුහුණදීමට සිදුවූ තත්වයක් නොවන බවත් ඒමහතා සඳහන් කළේය.

මැයි දිනයේ අයිතිකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මැයි දිනය අභිමානවත් දිනයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවේ කම්කරු අමාත්‍යවරයා වූ ටී. බී. ඉලංගරත්න මහතා මෙටට කම්කරු දිනයක් ප්‍රකාශයට පත්කළ බවත් ඒ මහතා කීය.

මෙරට කොතරම් දේශපාලන පක්‍ෂ තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට සමත් වූ බව කී සිල්වා මහතා සඳහන් කළේ වචනයට පමණක් නොව ක්‍රියාවෙන්ම කම්කරු ජනතාව වෙනුවෙන් එම පක්‍ෂය කටයුතු කර ඇති බවත්ය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයන් තුළ කම්කරු ජනතාව වෙනුවෙන් ප්‍රායෝගික සහ නීතිමය ක්‍රියාමාර්ග රැසක් ද ගැනීමට සමත් වූ බවත් ගොවිජනතාව වෙනුවෙන් කුඹුරු පනත වැනි පනත් ගෙන එමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමස්ත ශ්‍රී ලාංකික වැඩකරන ජනතාව වෙනුවෙන් නොමැකෙන සේවයක් කළ බවත් ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක නායිකාවන් රැල්ලට ගසාගෙන ආ නායක නායිකාවන් නොවන බවත් වෘතීය සමිති ව්‍යාපාරය, කාලීන දේශපාලන තත්වයන් පිළිබඳව සහ ජාතික ආර්ථිකය පිළිබඳව ගැඹුරු දැනුමකින් යුත් පිරිසක් බවත් ඒ මහතා කීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *