කුරුණෑගල ශික්ෂණ රෝහලේ දරු උපත් සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සාෆි සහබිඬින් මහතා අනාවරණය කර සිටී. පෙර කාලයේ මාසයකට දරුවන් 1,200ක් පමණ බිහිවූ රෝහලේ දැන් එම සංඛ්‍යාව 550-600 දක්වා, එනම් 50%කට වඩා අඩු වී ඇති බව ඔහු පෙන්වා දී තිබේ.
මින් ඉහත රාජපක්ෂ සමයේ දේශපාලන අවශ්‍යතා මත ‘වඳ සැත්කම්’ නමැති බිල්ලක් මවා පෑ මාධ්‍ය ගොදුරක් බවට පත්වූ සාෆි සහබිඬින් මහතා මීට කලකට පෙර එම සියලු චෝදනා වලින් නිදහස්වූ අතර ඔහුට වූ අලාභය සෞඛ්‍ය අමාත්‍යංශයට ගෙවීමටද සිදුවී තිබුණි.
මෙම ව්‍යාජ මාධ්‍ය භාවිතය නිසා රෝහල වෙත දරු ප්‍රසූතියට පැමිණෙන පිරිස් සීමාවීමද සිදුව තිබේ.
මාධ්‍යවේදී නිමල් අබේසිංහ මහතා විසින් රචිත “ගර්භාෂ යුද්ධය” නම් ග්‍රන්ථය පිළිබඳ සංවාදයක් කුරුණෑගලදී පැවැත්වූ අතර, එහිදී වෛද්‍ය සහබිඬින් මහතා පෙන්වා දුන්නේ මෙම දරු උපත් අඩුවීම ශ්‍රී ලංකාවේ අනාගතයට බරපතල තර්ජනයක් ලෙසය.
“මම 2004 වසරේ සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළා. එකල තිබුණේ දරු ප්‍රසූති ඒකක තුනක් පමණයි. ඒ කාලයේ මාසයකට දරුවන් 1,200ක් පමණ මෙම රෝහලේදී බිහිවුණා,මම ලොකුකමකට කියනවා නොවෙයි, එක දවසකට සීසර් සැත්කම් 25ක් පමණ සිදු කළා. ඒ කියන්නේ පැය දෙකකට සීසර් සැත්කම් අටක් පමණ සිදු කළා. මම දන්නේ නැහැ, අද එලෙස කාර්යබහුලව සේවය කරන වෛද්‍යවරුන් සිටිනවාද කියලා, දැන් අවාසනාවකට ගැබිනි මව්වරු නැහැ. අපි අපිම විනාශ වෙලා. අපි රටක් විදිහට මේ දේශපාලන ක්‍රමවේදය තේරුම් ගත යුතුයි, අලුත් සංස්කෘතික රටාව තමයි, පවුලක දරුවන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් සිටීම. එමෙන්ම, අද කොළඹ ප්‍රවණතාවය වන්නේ විවාහ නොවී සිටීමයි. බොහෝ දෙනෙක් විවාහයකින් තොරව එකට ජීවත් වෙනවා, ” යැයි ඔහු පැවසීය.
වෛද්‍ය සහබිඬින් මහතා තම ජීවිතයේ අභියෝග ගැනද සඳහන් කළේය.
“මම මුහුණ දුන් මේ ප්‍රශ්න ඇති කළේ සුළු පිරිසක් පමණයි. අනෙක් සියලු දෙනාම හොඳ මිනිසුන්. ඒ නිසයි මට අද කොන්ද කෙළින් තබාගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලේම සේවය කිරීමට හැකි වී ඇත්තේ,අපි සහජීවනය තුළින් එකතු විය යුතුයි. මෙය වෛද්‍ය සාෆිගේ කතාව නොවෙයි. මෙම පිටුවල අයිතිකරුවා මම නොවෙයි. මෙය මේ පොතේ කතාවයි, මේ පොතේ පිටු තුළ සිටින අය එහි අයිතිකරුවන්” යැයි ඔහු ඉතා සංවේදී විවරණයක් සිදු කළේය.