‘ලොක්කා අපිව ඇන්දුවා” – කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති

වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමට තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කළේ එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා බව එම කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඔහු එසේ ප්‍රකාශ කළේ වැඩ තහනමට ලක් කෙරුණු පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන මැතිසභා ත්‍රිපුද්ගල කමිටුව ඊයේ(11) සාක්ෂි ලබාදෙමිනි.

වැලිගම හෝටලයක පාතාලයට සම්බන්ධ පිරිසකගේ සාදයක් පැවැත්වෙන හෙයින් එහි තාප්පයට සහ නම සදහන් පුවරුවට වෙඩි තබා එන ලෙස නෙවිල් සිල්වා මහතා දැනුම් දුන් බව ඔහු කීවේය.

” නෙවිල් ද සිල්වා අපිට කළේ බොරුවක්. අපි වෙඩි තියන්න යන එක වැලිගම පොලිසිය ඇතුළු පොලිස් ස්ථානවලට දැනුවත් කරල තිබුණා කියලයි ඔහු අපිට කිව්වේ” යැයි ඇන්සලම් ද සිල්වා මහතා පැවසීය.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු තුන්වැනි පාර්ශවයක් වෙඩි තැබූ බවට නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් අනුව අධිකරණයට පැවසීමට එකඟත්වයක් ඇතිකර ගත් බව කී සිල්වා මහතා වැඩේ දුර දිග යන බව තේරුණු හෙයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා ඇත්ත ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.

තමා වැඩ තහනමට ලක්ව සිටින්නේ ඉහළ නිලධාරීන් දෙන තීන්දු තීරණ නිසා බවත් මේනිසා අද තමාට විශ්‍රාම වැටුප පවා අහිමිවී ඇති බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.

අනෙක් නිලධාරීන් මෙම සිද්ධිය ආදර්ශයට ගත යුතු බව කී ඇන්ස්ලම් ද සිල්වා මහතා මෙවැනි වැරැදි නියෝග ක්‍රියාත්මක නොකර ස්ථාන මාරුවීමක් ලබාගෙන යෑම මීට වඩා හොඳ බවද පැවසීය.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සාක්ෂිකරැගෙන් හරස් ප්‍රශ්න විමසීය

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ඊයේ (11) සිවු වැනි දිනයටත් පෙනී සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන්නේ අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති නීල් ඉද්දවල සහ හිටපු මහාධිකරණ විනිසුරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු වෙති.

පොලිස්පතිවරයා සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශවලට පසුගියදා පිළිතුරු දුන්නේය.

කමිටුවේ විමර්ශන දිගටම පැවැත්වෙන අතර එහි අවසන් වාර්තාව ලබන

මාසයේදී කතානායකවරයාට බාරදීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *