බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍රවන ලුම්බිණිය විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති ලෝක උරුම ලැයිස්තුවට ඇතුළු කිරීමේ අවදානම මතුව තිබේ.
යුනෙස්කෝ සංවිධානය පවසන පරිදි වායු දූෂණය, වාණිජ සංවර්ධනය, කාර්මික ප්‍රදේශ සහ වැරදි කළමනාකරණය මෙම ලෝක උරුම අඩවියට ඇති ප්‍රධාන තර්ජන වේ. මහා දෙවි විහාරය වැසි ජලය කාන්දු වන වහලකින් සහ පොළොවකින් සමන්විත වන අතර ඒ හේතුවෙන් එහි ඇති පෞරාණික වටිනාකමක් ඇති ගඩොල් දිලීරවලින් වැසී ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පසුගිය වසරේ සංචාරයක දී රෝපණය කළ පැළය පවා මැලවෙමින් පවතින බව වාර්තා වෙයි.
බුදුන් උපන් ඓතිහාසික ස්ථානය 1997 වසරේ දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
ලුම්බිණියේ සිංගප්පූරු ආරාමයේ බෙන්පෝ ෆුර්පා ෂර්පා හිමි බීබීසී නේපාල සේවයට පවසා තිබුණේ ගිම්හාන කාලයේ දී විහාරස්ථානය නැරඹීම අභියෝගාත්මක බවයි. “කෙනකුට විනාඩි කිහිපයක්වත් විහාරස්ථානය ඇතුළේ රැඳෙන්න බැහැ. මොකද ඇතුළේ රස්නය, ආද්‍රතාව (වාතයේ ඇති තෙත් බව) වැඩි නිසා. ඒ නිසා හුස්ම ගන්න අමාරුයි.” ලුම්බිණි සංකීර්ණය තුළ පිහිටි රාජකීය බෞද්ධ ආරාමයේ නායක පූජ්‍ය සාගර් ධම්ම හිමියන් පවසන්නේ ලුම්බිණිය විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම “සිදුවිය හැකි නරකම දෙය” යි. “තම අධ්‍යාත්මික ගුරුවරයාගේ උපන් ස්ථානය විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති උරුමයක් ලෙස නම් කිරීමේ අවදානමට ලක් වීම ලොව පුරා සිටින මිලියන 500කට අධික බෞද්ධයන්ට ලැජ්ජාවට කරුණක්”, යනුවෙනි.
යුනෙස්කෝව ලෝක උරුමය නිර්වචනය කරන්නේ මනුෂ්‍යත්වයට සුවිශේෂී විශ්වීය වටිනාකමක් සහිත පෘථිවියේ ඇති ස්ථාන හඳුනා ගැනීමක් ලෙස ය. ඒවා අනාගත පරම්පරාවන්ට අගය කිරීමට සහ භුක්ති විඳීමට ආරක්ෂා කළ යුතු ලැයිස්තුවට ඇතුළත් කර ඇත.