ලංකා ගුවන්යානා හදිසි අනතුරු විමර්ශනයට කාර්යාංශයක්

ශ්‍රී ලංකා ගුවන් යානා හදිසි අනතුරු විමර්ශනය කිරීමේ කාර්යාංශය (AAIBSL) ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2002 අංක 34 දරන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පනතට අනුව, ශ්‍රී ලංකාවේ සීමාව ඇතුළත ගුවන් ගමන් අනතුරු සහ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කිරීමේ වගකීම එම අධිකාරිය වෙත පැවරී ඇත.

එහෙත්, 2010 වර්ෂයේ දී පවත්වන ලද ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානයේ (ICAO) නිරුපද්‍රිතා අධීක්ෂණ විගණනයක දී ගුවන් යානා හදිසි අනතුරු සහ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා ස්වාධීන ක්‍රියාවලියක් නොමැති වීම පිළිබඳව කරුණු අනාවරණ කර තිබේ.

ඒ අනුව, ස්වාධීන ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් යානා හදිසි අනතුරු විමර්ශනය කිරීමේ කාර්යංශයක් පිහිටුවීම පිණිස 2016 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර, මේ වන විට ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත. එකී පනත් කෙටුම්පත සඳහා තවදුරටත් විධිවිධාන කිහිපයක් හඳුන්වාදිය යුතු බවට අදාළ පාර්ශ්වයන් විසින් පෙන්වා දී තිබේ.

ඒ අනුව, එකී විධිවිධානද ඇතුළත් කරමින් අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *