රෝහලෙන් පැන්න ’සාන් සුද්දා’ යළි අල්ලයි

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සාන් සුද්දා’ නැමැත්තා මල්ලත්තාවල ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය පවසයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සැකකරු මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලා තිබූ බව පොලිසිය පවසයි.

‘සාන් සුද්දා‘ නැමැති සැකකරුට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු 5 ක් පමණ පවතින බව පොලිසිය පවසයි.

වැල්ලවාය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා කළ විශේෂ වැටලීමකදී සැකකරු වැල්ලවාය බුදුමැදුර හන්දිය අසල සිටිනු දැක ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහරදීමට යාමේදී නිලධාරීන් කළ වෙඩි තැබීමකදී සැකකරුගේ කකුල ප්‍රදේශයට එම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණි.

අනතුරුව තුවාල ලැබූ සැකකරු වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ආරක්ෂාව යටතේ මොනරාගල රෝහලට මාරුකර යවා තිබුණි.

එහිදී සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (4) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මොනරාගල කොට්ටාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්. ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම්. කරුණාතිලක මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *