රණවිරුවන්ට ‘විරුසර‘ වරප්‍රසාද කාඩ්පතක්

රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබාගැනීමේදී ප්‍රමුඛතාවය ලබාදීම සදහා ‘විරුසර‘ නමින් වරප්‍රසාද කාඩ්පතක් හදුන්වා දී ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සෘජු මැදිහත්වීම මත සිදුකළ සාකච්ඡාව මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම සේවාව සදහා අනුමැතිය ලබා ඇත.

ඒ අනුව සෞඛ්‍ය සේවා ලබාදීමේදී විරුසර වරප්‍රසාද කාඩ්පත හිමි රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට ප්‍රමුඛතාව මත එම සේවා ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මින් ඉදිරියට කටයුතු කරන බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී මෙන්ම වෛද්‍ය, දන්ත, අක්‍ෂි, ළමා හා පූර්ව ප්‍රසව සහ අනිකුත් සායනවලදී ද, සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් පවත්වනු ලබන සායනවලදී ද, රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් ට ප්‍රමුඛත්ව හිමිවනු ඇති බව අමාත්‍යවරයා කීය.

මේවන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම පළාත් සෞඛ්‍ය සේවා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරුන් මාර්ගයෙන් අදාල රෝහල්වල අධ්‍යක්‍ෂකවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරින් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *