රට බරපතළ ඖෂධ හිඟයක්

මේ මොහොත වන විට  රටේ බරපතළ ඖෂධ හිඟයක් පවතින බවත් එයට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වෛද්‍ය සැපයුම් ආයතනයේ ඖෂධ වර්ග 180ක හිඟයක් ඇති බවත් ඊට අමතරව රෝහල් පද්ධතිය තුළ තවත් අත්‍යවශ්‍ය ඖෂධ 50ක හිඟයක් ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඒ අතර ප්‍රතිජීවක, වේදනා නාශක, ඉන්සියුලීන්, හෘද රෝග ඖෂධ මෙන්ම බරපතළ උපකරණ හිඟයක් ද ඇති බවත් කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

රටේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් තිබියදී  කොවිඩ් අලුත් ප්‍රභේදයක් පැතිරෙමින් යන බවත් රජයෙන් එයට කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවත් ප්‍රේමදාස මහතා කීවේය.

මෙවැනි තත්ත්වයක් උඩ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රශ්නවලට මේ වන විටත් උත්තරයක් ලැබී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේවා ජනතාව ඉදිරිපත් කරන ප්‍රශ්න වුවත් අද දින ද  ඖෂධ හිඟය ගැන හෝ සෞඛ්‍ය ක්⁣ෂේත්‍රය ගැන ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු නොමැති බවත් ඔහු සඳහන් කළේය.

මේ වන විට රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනයට රජයේ උනන්දුවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා  පැවසීය.

මේ වනවිට සිංගප්පූරුව තායිලන්තය ඉන්දියාව හා හොංකොං යන රටවල  LP 8.1 යන කොවිඩ් අනු ප්‍රභේදයක් පැතිරෙන බවත් මේ අනු ප්‍රභේදය ගැන අප රටේ පරීක්ෂණ ක්‍රියාත්මක නොවන බවත් ඔහු සඳහන් කළේය.

මේ අනු ප්‍රභේදය ගැන පරීක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් රෝහල්වල රෝග ලක්ෂණ පෙන්වන අය පරීක්ෂා කර වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *