අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.
“එක්ව ජයගමු – අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සංවිධානය කර තිබු මෙම ජන හමුවට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.
ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නව දේශපාලන ගමනක ආරම්භය අද මාතරින් සනිටුහන් වී තිබෙන බවයි. රට පෙරට – පක්ෂ දේශපාලනය පසුවට තබා මෙම වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස විපක්ෂයට ද ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනඟන්නේ කෙසේද යන පාඩම එවිට තමන්ගෙන් ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බවද කියා සිටියේය.
ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
මට භාරදුන් ටයිටැනික් නැව මම දැන් වරායට ගෙනැවිත් තිබෙනවා. එදා අයිස් කන්දට බිය වී හිටපු කපිතාන්වරු සියලුදෙනා පැන ගියා. නැව ගිලිලා අප නැති වෙනවද, නැතිනම් අප වරායට ගමන් කරනවාද කියා තීරණය කිරීමට සිදු වුණා. දැන් අපි වරායට පැමිණ තිබෙනවා. අපි දැන් මේ නැවට මොකද කරන්නේ? අපි නැව ඉදිරි වසර 50-100ට සිරිලන ලෙස අලුතින් සකස් කරනවාද, නැත්නම් මෙහෙම තිබෙන නැව පැනලා ගිය කපිතාන්වරයෙකුට භාර දෙනවද කියා තීරණය කළ යුතුයි.
අද මම මේ ප්‍රදේශයට පැමිණෙන විට මෙම මාතර ජනතාව විඳි දුක සිහිපත් වුණා. 2022 සිංහල අලුත් අවුරුද්ද මම ගත කළේ මෙම කඹුරුපිටියේ ප්‍රදේශයේ. මම නැවති සිටි හෝටලය ඉදිරිපිට ඉන්ධන පිරිවුම්හලක් තිබුණා. එතන දිගු වාහන පෝළිමක් තිබුණා. ජනතාව ආණ්ඩුවට දෝෂාරෝපණය කරමින් එම පෝළිම්වල දුක් විඳිනවා මම දුටුවා. එදා මම තීරණය කළා මේ තත්ත්වය නැවත රටේ ඇතිවෙන්න ඉඩ දෙන්න බැහැ කියලා. මම ඊට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර තිබුණා. ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර එම පිණිවිඩ පිළිබඳ කිහිප වතාවක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දැනුවත් කළා. කෙසේ හෝ අවසානයේ මට මේ රට භාර ගැනිමට සිදු වුණා.
මම එලෙස රට භාර ගනු ලැබුවේ ලෝක ඉතිහාසයේ අලුත් ක්‍රමයක් අනුවයි. සියලුදෙනා පැන ගිය අවස්ථාවක මට රට භාර ගැනීමට සිදු වුණා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඉල්ලා අස් වූ විට ආණ්ඩු පක්ෂයට එය භාර ගැනීමට නොහැකි නම් විපක්ෂය එය භාරගත යුතුයි. නමුත් මේ සියලුදෙනා පැනලා ගියා. එදා කැඩී ගියේ අපේ ආර්ථික ක්‍රමය පමණක් නොවෙයි, දේශපාලන ක්‍රමයත් කැඩී ගියා.
මම මේ රටේ ජනාධිපති ධුරය භාර ගත්තා. සසියලු දෙනා කිව්වේ , මෙය සාර්ථක වෙන්නේ නැහැ කියලා. නමුත් මට මේ රටේ ජනතාව ගැන සහ මම ගැන දැඩි විශ්වාසයක් තිබුණා. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් අපට ආධාර ලබා දුන්නා.
මේ අතර 2022 – 2023 යල කන්නය සාර්ථක කර දෙන්න කියලා අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අපට සාර්ථක අස්වැන්නක් ලැබුණා. ඒ අනුව රටේ ජනතාවට පසුගිය සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය, පොසෙන් උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට හැකි වුණා.
ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් දකුණේ ජනතාව විශාල සසහායක් ලබා දුන්නා. අපේ රටට සංචාරකයන් පැමණීමට පටන් ගත්තා. එවිට අපේ රටට අවශ්‍ය විදේශ විනිමය ලැබුණා. අපි මේ සියලුදෙනාගේ සහාය ඇතිව රට ඉදිරියට ගෙන ආවා.
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟව තිබෙනවා. ඒ අනුව අපිට මුදල් මුද්‍රණය කිරීමට සහ බැංකුවලින් ණය ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපට ආදායම් උපයා ගැනීමේ නව ක්‍රමවේද අනුගමනය කිරීමට සිදු වුණා. බදු වැඩි කිරීම අසීරු තීරණයක්. නමුත් අප එම තීරණය ගත්තා. ඒ නිසා අද රටේ ආර්ථිකය ස්ථාවර වී තිබෙනවා. ඉදිරියේ දී සාමාන්‍ය ජනතාවට මේ බදු බර දැරීමට සිදු වන්නේ නැහැ.
මේ අතර අපි 2023 වසරේදී අස්වැසුම වැඩසටහන ආරම්භ කර සමෘද්ධිය වගේ තුන් ගුණයක ප්‍රතිලාභ ජනතාවට ලබා දුන්නා.
ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 සිට 24 දක්වා වැඩි කළා. ආර්ථිකය හොඳින් තිබූ කාලයේ කිරීමට නොහැකි වූ දේ, බංකොළාත් කාලයේ අපි විසින් සිදුකළා.සිංහල අලුත් අවුරුදු සමයේ ජනතාවට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් ලබා දුන්නා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසකින් වැටුප් වැඩි කළා. ඒ වගේම රජයේ ඉඩම්වල ජිවත්වන සියලුදෙනාට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම ඉදිරි සතියේ දී කොළඹ අඩු ආදායම්ලාභී ජනතාව ජීවත්වන මහල් නිවාසවල අයිතිය එම ජනතාවට ලබාදිමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.
අපි මේ වැඩ කරද්දි කෑ ගැහුවේ නැහැ. ඒත් ජනතාව වෙනුවෙන් මෙම සහන ලබාදි තිබෙනවා. අපි ඉදිරියට ගමන් කළයුතුයි. මේ වන විට අප බංකොළාත්භාවයෙන් ඉවත් වි සිටිනවා. ඒ අනුව අප ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යනවා. එහිදී සහන ලබාගෙන තිබෙනවා.