මෙම වසරේ පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාව වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වැඩිම අදායමක් උපයා ඇත්තේ ඇමෙරිකාවෙන් බවත් ඇමෙරිකාවෙන් පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 965.97 ක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් උපයා තිබෙන බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.
එය පසුගිය වසරේ පළමු මාස හතර තුළ ඇමෙරිකාවෙන් උපයා ඇමෙරිකානු ඩොලර් මිලියන 894.94 වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමට සාපේක්ෂව සියයට 7.94 ක ඉහළ යාමක් බවද අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය. එසේම පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් ඉපැයූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 190.38 ක් බවත් එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 3.82 ක ඉහළ යාමක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් ඉපැයූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 183.37 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය.
එසේම මෙම වසරේ පළමු මාස හතර තුළදී ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට වැඩිම වෙළෙඳ භාණ්ඩ අපනයන අදායමක් උපයා ඇත්තේ ඉන්දියාවෙන් බවත් ඉන්දියාවෙන් පළමු මාස හතර තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 334.40 ක ආදායමක් ශ්‍රී ලංකාව උපයා ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.