යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට දීමනා ලබා දීම, වෛද්‍යමය පුනරුත්ථාපනය සහ ජීවිත කාලය පුරා රැකබලා ගැනීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ඔස්සේ ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් උපරිම සාධාරණය ඉටු කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් රට ස්ථාවරත්වයට පත් කිරීම සඳහා ගෙවී ගිය දෙවසර තුළ ආරක්ෂක අමාත්‍යාංශය පියවර රැසක් ගෙන තිබෙන බවද පැවසූ ඒ මහතා ජනතාව වෙනුවෙන් යහපත්, සුරක්ෂිත පරිසරයක් සහතික කර ඇති බවද සඳහන් කළේය.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පහසුකම්වල ගුණාත්මකභාවය කැපී පෙනෙන ලෙස ඉහළ නංවමින් සිසුන් වැඩි පිරිසකට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සළසා දී ඇති අතර සිවිල් වෛද්‍ය ශිෂ්‍යයින් බඳවා ගැනීමද මේ වන විට ආරම්භ කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා මෙසේද පැවසීය.
‘සැම සුරැකි සාමකාමී දේශයක්’ යන දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක වන ආරක්ෂක අමාත්‍යාංශය ගෙවී ගිය දෙවසර තුළ ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් රට ස්ථාවරත්වයට පත් කිරීම සඳහා පියවර රැසක් ගෙන තිබෙනවා.
විශේෂයෙන් මිනිස් ජාවාරම, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට කටයුතු කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශය ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරන බව කිව යුතුයි. මෑත කාලීනව වැඩි අවධානයක් යොමු වූ මත් ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මැදිහත් වෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනිමින් නාවික හමුදාව ප්රමුඛ ත්‍රිවිධ හමුදාව විශාල කාර්යභාරයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව 2023 වසරේදී පමණක් ත්‍රිවිධ හමුදා මෙහෙයුම් මඟින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 560 කට ආසන්න ප්‍රමාණයක්, ගංජා කිලෝ ග්‍රෑම් 3350ක්, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 5220ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60ක්, මත් පෙති/කරල් 151, 000ක් සහ කසිප්පු ලීටර් 6650ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මේජර් ජෙනරාල් සී.ඒ වික්‍රමසිංහ, ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ. එම්. සී. බඩ්ලිව්. පී අබේකෝන් යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.