ජනතාවගේ මුදල් වංචා කරන පුද්ගලයින්ගේ ඡායාරූප ද ඉදිරියේදී ගුවන්තොටුපොළ තුළ ස්ථාපිත විශේෂිත කැමරා පද්ධතියට ඇතුළත් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ රටේ සෑම ප්‍රදේශයකම මූල්‍ය වංචා තත්ත්වය බරපතළ ලෙස පවතින බවය.
මධ්‍යම පන්තියේ ජනතාව ආයෝජනය කරන මුදල් එකතු කරන කුඩා මූල්‍ය සමාගම් මෙලෙස විශාල මුදලක් එකතු කරගැනීමෙන් පසු රටින් පළායෑමේ තත්ත්වයන් පාලනය සඳහා මෙම පියවර ගැනීමට නියමිතය.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා,
“රටේ මූල්‍ය වංචා තත්ත්වය සෑම ප්‍රදේශයකම ඉතාම බරපතළ විදියට තියෙනවා. මධ්‍යම පන්තියේ අය ආයෝජනය කරන මුදල් එකතු කරගන්නා කුඩා මූල්‍ය ආයතන, බැංකු, ණය ලබාදෙන සමිති විශාල මුදලක් එකතු කරගෙන රටින් පැනයෑමේ ස්වභාවයක් තිබෙනවා.”
“ඒ අනුව ඉදිරි මාසයක කාලය ඇතුළත පොලීසිවලට ලැබී තිබෙන පැමිණිලිවලට අදාළව මෙවැනි වංචනික ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ගේ ඡායාරූපත් අපගේ දත්ත පද්ධතියට ඇතුළත් කරනවා.”
“මුහුණ මගින් අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ස්ථාපිත කර තිබෙන එම පද්ධතියට මෙම ඡායාරූපත් ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් තදින් ක්‍රියාකිරීමේ හැකියාවක් පොලීසියට ලැබෙයි.”