මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තුන්දෙනෙකු වලස් මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් පැය 72 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් නවෝදා කෝකු හැන්නදිගේ මෙනවිය විසින් නියෝග කරනු ලැබුවාය.
ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු කර ගෙන යන හෙයින් ඊට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පොලිසිය විසින් අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවාය.
ඒ අනුව සැකකරුවන් තිදෙනා ලබන 27 වැනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලැබිණි.
ඝාතනයට ලක් වූ අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු අද දින මැද මුලන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි .