මැතිවරණ ක්‍රමයට විපක්ෂය එකඟ නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්: අගමැති

මැතිවරණ ක්‍රමයට විපක්ෂය එකඟ වන්නේ නම් ප්‍රමාද වූ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“පළාත් සභා මැතිවරණය පැවැත්වෙන ක්‍රමය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනස් යෝජනාවක් ඉදිරිපත් කරනවා. පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමයට එකඟ වුණොත් අපිට මැතිවරණ පවත්වන්න පුළුවන්.” අගමැතිවරයා පැවසීය.

“පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටත් තවත් අය අලුත් ක්‍රමයටත් පැවැත්විය යුතු බව විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවසනවා. මැතිවරණ කොට්ඨාස ක්‍රමයක් ද වැදගත් ය. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවේදී කිසිම පක්ෂයක් එකඟතාවකට පැමිණ නැහැ.”

“පළාත් සභා මැතිවරණය පවත්වන්න කියන අය තමයි මැතිවරණය පැවැත්වීම අඩාළ තැනකට තල්ලු කළ පළාත් සභා මැතිවරණ ආඥාපනත සංශෝධනය අනුමත කළේ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවෙල කියා සිටියේ පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම තම පක්ෂය බවයි.

“පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්වීමට සංශෝධනයක් ගෙනාවොත් අපි ඒකට සහය දෙනවා” කිරිඇල්ල කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *