මාදුරුඔය හෙලිකොප්ටර් අනතුර ගැන විමර්ශනයකට නියෝග

මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා කඳවුරේ පැවති විසිර යාමේ උත්සවයකට සමගාමීව නිදර්ශන චාරිකාවක  නිරතව  පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිඟුරක්ගොඩ මූලික කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලගණයට අයත් බෙල් 212  හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී ආරක්ෂක අංශ සාමාජිකයන් හය දෙනෙකුට මරු කැඳවමින්  සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන්  පුළුල් විමර්ශනයක් සිදුකර එම ගුවන් අනතුරට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙස දෙහිඅත්තකණ්ඩිය වැඩ බලන මහේස්ත්‍රාත් යූ. රාජපක්ෂ මහතා, දෙහිඅත්තකන්ඩිය පොලීසියට සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාවට නියෝග කළේය.

වැඩ බලන මහේස්ත්‍රාත් යූ. රාජපක්ෂ මහතා මෙසේ  නියෝග කළේ නිදර්ශනයක නියැළෙමින් පියසාර කරමින් තිබූ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අංක 7 හෙලිකොප්ටර්  බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී ආරක්ෂක  අංශ සාමාජියන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වීමේ සහ තවත් ආරක්ෂක අංශ සාමාජිකයන් හය දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් බුද්ධික මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි. මාදුරුඔය ජලාශයේ ගුවන් අනතුර සිදු වූ ස්ථානය සහිත ජල තීරයද වැඩබලන මහේස්ත්‍රාත් යූ. රාජපක්ෂ මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.

ඒ අනුව මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය කියා සිටියේ ඉකුත් 9 දින මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා පුහුණු කඳවුරේ විසිර යාමේ උත්සවයක් පැවති බවයි. එම විසිර යාමේ උත්සවයේ නිදර්ශන කටයුත්තක් සඳහා හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ සිට ගුවන් ගත වූ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් පළමුව මාදුරුඔය යුද හමුද විශේෂ බළකා පුහුණු කඳවුරට ගොඩ බස්සවා එම කඳවුරෙන්  සෙබළු කිහිපදෙනෙකු  හෙලිකොප්ටර් යානයට නංවාගෙන නිදර්ශන කටයුත්තක්  සඳහා යළි ගුවන් ගත වී ඇති බවය. එලෙස ගුවන්ගතව මාදුරුඔය ජලාශයට ඉහළින් පියසාර කරමින් තිබියදී හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බව අරලගංවිල පොලීසිය විසින් පළමුව දෙහිඅත්තකණ්ඩිය පොලීසියට දැනුම් දුන් බවද අධිකරණයට කියා සිටි පොලීසිය අනතුරුව වහාම ක්‍රියාත්මක වී අදාළ අංශ දැනුම්වත් කර කඩා වැටුණු යානයේ සිටි පිරිස් මුදා ගැනීමේ සහ රෝහල් ගත කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ බවද කීවේය.

මෙම ගුවන් අනතුරින් ආරක්ෂක අංශ සාමාජිකයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවත් අධිකරණයට දැනුම් දුන් පොලීසිය අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයාගේ අධීක්ෂණයට යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ද පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලීසිය විසින්ද විමර්ශන  සිදුකරන බවද දැනුම් දුන්නේය.

පොලීසියේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත්  දෙහිඅත්තකණ්ඩිය වැඩ බලන මහේස්ත්‍රාත් යූ. රාජපක්ෂ මහතා පොලීසියට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නියෝග කළේ මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් වෙන් වෙන්ව විමර්ශන සිදුකර  ගුවන් අනතුරට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙසය. එමෙන්ම ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන  වාර්තාවක්  අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද දෙහිඅත්තකණ්ඩිය පොලීසියට තවදුරටත් නියෝග කෙරිණ.

මේ අතර මෙම ගුවන් අනතුරින් ජීවික්ෂයට පත් වූ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ  පවත්වා,අදාළ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් ගිහාන් බස්නායක මහතා පොළොන්නරුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය.

පශ්චාත් මරණ පරික්ෂණ  පැවැත්වීමෙන් අනතුරුව  මෘත දේහ ඔවුන්ගේ ඥාතීන්ට භාර දෙන ලෙසටද නියෝග කෙරිණ. එලෙස නියෝග කළේ අරලගංවිල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් පොළොන්නරුව මහ රෝහලට පැමිණ මෘත ජීවිතක්ෂයට පත් ආරක්ෂක  අංශ සාමාජිකයන්ගේ මෘත දේහ පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

මාදුරුඔය ජලාශය අයත් පොලිස් වසම අරලගංවිල වීම නිසා ගුවන් අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශන ඇරඹුවේ අරලගංවිල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ඉඳුනිල් හේමපාල මහතාගේ මෙහෙවීම  මත වුවද පසුව ගුවන් අනතුරේ සියලු විමර්ශන දෙහිඅත්තකණ්ඩිය  පොලීසියට බාර දීමට අරලගංවිල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඉඳුනිල් හේමපාල මහතාට සිදු විය. ඊට හේතුව මාදුරුඔය ජලාශය අයත් පොලිස් වසම අරලගංවිල වුවද හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ජල තීරය අයත් පොලිස් වසම දෙහිඅත්තකණ්ය පොලිස් වසම බව ගූගල් මගින් කළ සොයා බැලීමකදී අනාවරණ වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *