වසර විස්සක බරපතළ වැඩ සහිත සිර දඬුවමකට ලක්ව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විශ්‍රාම වැටුප දිගටම හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් පවසන්නේ හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පනතේ දඬුවම් ලබන හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි වීම පිළිබඳව කිසිදු විධිවිධානයක් සඳහන් නොවන බවයි.
පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ නිලධාරියෙකු විසින් දැනුම් දෙනු ලැබුවේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා වසර විස්සක සිර දඬුවමකට ලක්වී සිටියද, ඔහුගේ පාර්ලිමේන්තු සේවා කාලය සැලකිල්ලට ගෙන ඔහුට හිමි විශ්‍රාම වැටුප අඛණ්ඩව ගෙවීමට සිදුවන බවයි. නමුත් අධිකරණ තීන්දුව මගින් විශේෂයෙන් විශ්‍රාම වැටුප නතර කළ යුතු බවට නියෝගයක් දී ඇත්නම් පමණක් එය ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු පෙන්වා දී ඇත.
මේ අතර, මෑතකදී බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ලැබූ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ තත්ත්වය වෙනස් බව සඳහන් වේ. ඔහුගේ පාර්ලිමේන්තු සේවා කාලය වසර පහකට අඩු වීම හේතුවෙන් ඔහුට විශ්‍රාම වැටුපක් හිමි නොවන බව ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ මන්ත්‍රීවරයෙකු වශයෙන් අවම වශයෙන් වසර පහක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතු අතර,
එම සුදුසුකම සපුරා නොමැති හිටපු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිකම් නොලැබෙන බව පාර්ලිමේන්තු ප්‍රතිපාදන අනුව පැහැදිලි වේ. මෙම සිදුවීම පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳ පවත්නා නීති රාමුව පිළිබඳ විවිධ ප්‍රශ්න මතු කර ඇති අතර, දඬුවම් ලැබූ මහජන නියෝජිතයන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි විධිවිධාන අවශ්‍ය බව නීති විශේෂඥයෝ පෙන්වා දෙති.