ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඇමතිවරු දෙදෙනා සහ මන්ත්‍රීවරයා ඉවත්කිරීමට නිවැරදි හේතු අධිකරණණය හමුවට ගොස් පැහැදිළි කිරීමට සහ පාක්‍ෂිකයන්ට සහ සංවිධායකවරුන්ට සත්‍ය කරුණු අවබෝධ කිරීමට කටයුතු කරන බව හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ නිවසේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් එසේ පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මෙවැනි අභියෝග අලුත් ඒවා නොවන බවත් චන්ද්‍රිකා මැතිණිය, විජය කුමාරතුංග, අනුර බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් කැඩිලා යෑමේ ප්‍රතිඵලයෙන් වසර 17 ක් විපක්‍ෂයේ සිටීමට සිදුවූ බවත් ඒ මහතා කීය.
පක්‍ෂයේ තීරණයට පටහැනිව ගොස් නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 න් 11 ක් මේ වන විට ආණ්ඩුවට එකතු වී ඇති බව කී සිරිසේන මහතා සන්ධාන ලාංඡන වන පුටුව සහ බුලත් කොළය ආණ්ඩුවට එකතු වූ මන්ත්‍රීවරු සතුව තිබීම නිසා සන්ධාන පිහිටුවීමට ද නොහැකි වූ බව ද සඳහන් කළේය.
සන්ධාන ලාංඡන ආණ්ඩුවට ගිය අය නොදීමෙන් විනය නීතිවලට පටහැනිව කටයුතු කර ඇති යැයි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවත් කුමන ප්‍රශ්න සහ අභියෝග ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසිදු, දූෂණ සහ වංචාවෙන් තොර පිරිසක් හැටියට පිරිස හැටියට ආණ්ඩුවට සම්බන්ධ නොවන බවත් ඒ මහතා කීය.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අධිකරණයට කරුණු දැක්වීමකට අනුව පක්‍ෂ සභාපතිත්වය ලබන 18 වැනිදා දක්වා තහනම් නියෝගයක් පනවා ඇති බව මාධ්‍යවලින් දැනගත් බවත් කෙසේ වෙතත් ඒ පිළිබඳ කිසිඳු ලිඛිත දැනුම්දීමක් මේ දක්වා ලැබී නොමැති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.