මදූෂ් – වෙලේ සුදා සහ කුඩු සළිඳුගේ වත්කම් සොයා පොලිස් මෙහෙයුම්

ගනේමුල්ල කැන්දලියද්ද පාළුව මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මානගේ සුමුදු දුෂ්මන්ත නොහොත් රංග නමැත්තා හෑෂ් මත්ද්‍රව්‍ය සමග කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන සුඛෝපභෝගී ජීප් රථයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.

එමෙන්ම සැකකරු නිවාස 2ක් ඔහුගේ බිරිඳගේ නමින් සහ තවත් නිවාස 2ක් බිරිඳගේ පියාගේ නමින් මිලදීගෙන ඇති අතර ඒවා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගත් බවට විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

සැකකරු 2006 සහ 2015 වසර දක්වා දෙමටගොඩ චමින්ද සහ SF සරත් යන අය සමග මත්ද්‍රව්‍ය ජවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි.

මේ අතර මාකඳුරේ මදූෂ් නැමැත්තාගේ අනියම් බිරිඳට අයත් බවට සැලකෙන සුඛෝපබෝගී ජීප් රථයක්, රුපියල් ලක්ෂ 32කට අධික මුදලක් සහ වටිනාකම තහවුරු නොකළ මැණික් කැට 91 ඇතුළු භාණ්ඩ කිහිපයක් සමග නුවරඑළිය ප්‍රදේශයේ ලැඟුම්හල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකාර කාන්තාව එම ලැඟුම්හලේ නවාතැන්ගෙන සිටින බවට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවකදී ඇය පළාගොස් ඇති අතර ඇය නවාතැන් ගෙන සිටි කාමරය තුළ තිබී අදාළ භාණ්ඩ සොයාගෙන තිබුණි.

තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැත්තාට අයත් යැයි සැකකරන කැප්පෙටිපොල හක්ගල පන්සල අසල පිහිටි දෙමහල් නිවාඩු නිකේතනයක් වැටලීමට පොලීසිය කටයුතු කර තිබේ.

ඒ අනුව ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අදාළ දේපොළ රාජසන්තක කිරීමටද මෙහිදී පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ අතර වරකාපොල නගරාසන්නයේ පිහිටි රුපියල් ලක්ෂ සියයක් පමණ වටිනා ඉඩමක් මත්ද්‍රව්‍ය ජවාරම්කාර කුඩු සළිඳු නමැත්තා රුපියල් ලක්ෂ 20ක වටිනාකමක් සඳහන් කරමින් මිලදීගෙන එම ඉඩම ඔහුගේ ඥාතී පුත්‍රයෙකුගේ නමට පවරාදීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර අද දහවල් යුක්තිය මෙහෙයුම යටතේ මැල්සිරිපුර  ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී එම ප්‍රදේශය අවට මහපරිමාණ හෙරොයින් ජාවාරමේ නිරත වූ අඹුසැමි යුවලක් මැල්සිරිපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *