මත්ද්‍රව්‍ය වසංගතයට ගොදුරු වූ පාසල් කිහිපයක් කළුතරින් හඳුනාගනී

කළුතර පොලිස් කොට්ඨාස තුළ බහුලව මත්ද්‍රව්‍ය භාවිතා කරන ළමුන් ඉගෙනුම ලබන පාසල් හයක් කළුතර බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බව කළුතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ, කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

“එම හදුනාගත් පාසල් අතර ජනප්‍රිය පාසල්ද ඇතුළත්, ඒවායේ නම් සඳහන් කිරීම පාසල්වල කීර්ති නාමයට හානියක්. විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් දැනුවත් කළා. මේ වනවිට පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට පෙළඹිලා. මේ මත් උවඳුරෙන් පාසල් ළමුන් ගලවාගැනීමට අපි විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.”

කළුතර කොට්ඨාසයේ 2023 වර්ෂයේ හෙරෝයින් සම්බන්ධ නඩු 1,334ක්, අයිස් පිළිබඳ නඩු 904ක්, මත්පැන් නඩු 5,880ක් ඇතුළුව නඩු 10,586ක් පනවා තිබේ.

“පසුගිය මාසයක කාලය තුළ දී ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුම් කළුතර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 17ක් කේන්ද්‍ර කරගනිමින් සිදුකළා. යුක්තිය මෙහෙයුම නිසා සමස්තයක් වශයෙන් කළුතර මත්කුඩු ව්‍යාප්තිය අඩුවෙලා…” යනුවෙන් ද ඒ මහතා පැවසීය.

පොඩි අය පමණක් නොව මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ තෝරු මෝරු ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස කමිටුවේ රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙහිදී අදහස් දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *