මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යාන්ත්‍රණ සොයා බලා හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සාකච්ඡා කර පාර්ලිමේන්තුවට නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා පොලිසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කමිටුව හමුවට කැදවා තිබූ අතර එහිදී රට තුළ පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා එම දෙපාර්තමේන්තු ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් සඳහන් කළේ මහා පරිමාණයෙන් රට තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම නැවැත්වීමට පියවර රැසක් ගෙන ඇති බවයි. මෙම ප්‍රයත්නයන් සඳහා අසල්වැසි රටවල බුද්ධි අංශ ද සහය දක්වන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.
දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා ගත හැකි යෝජනා කිහිපයක් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය නියෝජනය කරන නිලධාරීන් කමිටුවට ඉදිරිපත් කළා.
තවද, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කටයුතු කරමින් සිටින බවද එම නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.