බෙලිඅත්තේ ඝාතකයින් ආ ජීප් රථය ගාල්ලේ පිරිවෙනකින් සොයාගනී

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සිදුකිරීමට වෙඩික්කරුවන් පැමිණි ජිප් රථය ගාල්ලේ, විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී සොයා ගෙන තිබේ.

මේ අතර එම සිද්ධියෙන් විනාඩි 40කට පමණ පසුව මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ කඹුරුපිටිය වටරවුම අසලදී වෙඩි තැබීමට පැමිණි ජීප් රථයේ සිටි වෙඩික්කරුවකු බවට සැකකෙරන පුද්ගලයෙක් ඉන් බැසයන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

මදක් ඉදිරියට යන ඔහු නැවතත් කඹුරුපිටිය බස් නැවතුම්පොළ දෙසට ගමන්කරන අයුරු දැකගත හැකිවිය.

අනතුරුව ඔහු මාතර දෙසට ධාවනය වන බස් රථයකට නැග එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තාවෙයි.

කෙසේවෙතත් අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැත.

පසුගිය 22 වනදා උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ඇතැළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.

උදෑසන 8.30ත් 8.40ත් කාලයේ මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, වෙඩිතැබීම සිදුවු ස්ථානයේම පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

එක් පුද්ගලයෙක් තංගල්ල රෝහලට ඇතුළත් කර සිටිය දී ජීවිතක්ෂයට පත්වුණි.

වෙඩිවැදීමෙන් ඉලේකුට්ටිගේ සමීර මධුසංඛ, කුමාර විදාරණලාගේ හසිත චින්සුක, බයියාදුරයලාගේ බුද්ධික රාපක්ෂ සහ කන්නංගර කෝරළලාගේ නලින් චම්පික ජයතිලක යන අය ද මියගියේය.

සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *